ස්නායු පද්ධතියට හානි කරන ලාදුරු



ලාදුරු යනු මයිකොබැක්ටීරීයම් ලෙප්රී (Mycobacterium Leprae) නමින් හඳුන්වන බැක්ටීරියාවක් මඟින් බෝවන සමට සහ පර්යන්ත ස්නායු පද්ධතියට හානි සිදු කරන රෝගී තත්ත්වයකි. මෙම, රෝගය බෝ කළ හැකි මට්ටමේ සිටින  රෝගී පුද්ගලයකුගේ කෙළ  හෝ සෙම බිඳිති තවත් අයෙකුගේ ශ්වසන මාර්ගයට ඇතුළුවීම තුළින් බෝවීම සිදුවේ. 

ලාදුරු රෝග කාරක බැක්ටීරියාවේ බීජෞෂණ සමය හෙවත් බැක්ටීරියාව සිරුරට ඇතුළුවීමේ සිට රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම ආරම්භ කිරීම දක්වා වන කාලය  වසර තුනක් වැනි කාලයක සිට වසර විස්සක් පමණ වන දිගුකාලයක් දක්වාද විය හැකිය. මෙම රෝග කාරක  බැක්ටීරියාව  ශරීරගතවූ අයගෙන් සියයට 90ක් රෝග ලක්ෂණ පෙන්නුම්  නොකරන අතර ප්‍රතිශක්තිය මගින් රෝග කාරකය විනාශ කරනු ලබයි. රෝගය බෝ කළ හැකි පුද්ගලයකුගෙන් තවත් නිරෝගී පුද්ගලයකුට රෝගය බෝවීමට නම් දෙදෙනා අතර ඇසුර සතියකට අවම වශයෙන් පැය 20 ක් පමණ කාලයක් නොකඩවා මාස තුනක් වැනි දිගුකාලයක් පැවතිය යුතුය. 

වර්ෂ 1995 දී  ලංකාවේ ලාදුරු රෝගය මහජන සෞඛ්‍යයට තර්ජනයක් නොවන ලෙස  ලාදුරු තුරන් කළ රටක් ලෙස නම් කෙරුණි.  එම නිර්ණායකය වූයේ ජනගහනය   10000කට එක රෝගියකුට වඩා අඩුවෙන් වාර්තා වීමයි.  එහෙත් දැනට වසරකට ලාදුරු රෝගීන් 1500 ක් 2000 ක් පමණ මෙරටින්  වාර්තා වන අතර ඉන් සියයට 40ක් බස්නාහිර පළාතෙන් ද සියයට20ක් නැගෙනහිර පළාතෙන් ද  සියයට11ක් දකුණු පළාතෙන්ද  වෙයි. 

පසුගිය වසර 3හි කොවිඩ්-19  ව්‍යාප්තිය නිසා රෝගීන් වාර්තාවීම අඩු වූ අතර මෙය සැබෑ ලෙසටම රෝගීන්ගේ අඩුවීමක් නොව  රෝගීන් හදුනා ගැනීමේ අඩු වීමකි. 2022 හි වාර්තා වූ රෝගීන් ගණන 1325 ක් වූ අතර ඉන්  සියයට10.2ක් වයස අවුරුදු 14ට අඩු ළමා ලාදුරු රෝගීන් වේ. මෙසේ දරුවන් තුළ රෝගය පැවතීම රෝගය තවමත්   රට තුළ පැතිරෙන බවට  ඉඟි කරන කාරණයකි. එසේම පසුගිය වසරේ වාර්තා වූ රෝගීන්ගෙන්    155ක් කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් ද  135ක් ගම්පහ සහ 108ක් කළුතර ප්‍රදේශයෙන් ද  සොයා ගැනිණි.  

රෝගයේ මූලිකම ලක්ෂණය වනුයේ සමෙහි මතුපිට ඇතිවන සමේ පැහැයට වඩා ලා පැහැති ලප එකක් හෝ කිහිපයක් පැවතීමයි. මෙම ලප වල සංවේදනය අඩුබව පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන අතර සමහර විට මෙහි හිරි ගතියක් පවතින බව රෝගියාට නිරීක්ෂණය වේ.

මේ සමගම එම ලප ආසන්නයේ පවතින ස්නායු ඝන වීමක් හෝ වේදනාව ඇතිවීමක් පැවතිය හැකිය. රෝගය සිරුර පුරා ව්‍යාප්ත වීමේදී  සමේ පැහැයෙන් හෝ රතු පැහැයෙන් යුත් සංවේදනයේ  වෙනසක් නැති විශාල ලප  සංඛ්‍යාවක් දක්නට ලැබේ. මේ වනවිට අත් පාවල හිරි ගතිය පැවතීම නිසා මස්පිඩු දුර්වලතාව, කල් පවතින තුවාල ඇතිවිය හැකිය. 

රෝගය  තවදුරටත් පැවතීමෙන් සිරුර පුරාම ලප ඇතිවීම සහ අත් පාවල ඇතිවූ හිරි ගතියට අමතරව මුහුණෙහි වෙනස්කම් ලෙස සම ඝන වීම, ඇහි බැම සහ නළල ඝන වීම සහ රෝම විනාශ වී යාම, කන් පෙතිවල සහ නිකටෙහි ගැටිති ඇතිවීම සිදුවිය හැකිය. 

රෝගය හඳුනා ගැනීමට හෝ තහවුරු කිරීමට රුධිර පරීක්ෂා නොපවතී. පළපුරුදු වෛද්‍යවරයකුට රෝගියා පරීක්ෂා කිරීමෙන් පමණක් රෝගය හඳුනා ගත හැකි අතර සමේ පටක පරීක්ෂාවක් හෝ බැක්ටීරියා පවතීද යන්න පරීක්ෂා කිරීමෙන් රෝගය නිශ්චිත කර ගැනේ.

රෝගයට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර පවතී. රෝග කාරක බැක්ටීරියාව සම්පුර්ණයෙන් විනාශ කළ හැකි ප්‍රතිජීවක ඖෂධ වර්ග මාස 6ක් හෝ මාස 12 ක කාලයක් නොකඩවා වෛද්‍ය උපදෙස් අනුව භාවිත කිරීම ඉතා වැදගත් වේ.  රෝග ලක්ෂණ ඇති වූ වහාම වෛද්‍යවරයකු වෙත පැමිණ නිසි ප්‍රතිකාර ගැනීමෙන් ස්නායු දුර්වලතාවක් රහිතව රෝගය සම්පුර්ණයෙන්ම සුව කළ හැකිය.

ලාදුරු පරම්පරා ගත රෝගයක් නොවේ. නිසි ලෙස ප්‍රතිකාර ගැනීමෙන් සම්පුර්ණයෙන්ම සුවය ලබා ගත හැකි රෝගයකි. දිගින් දිගටම ප්‍රතිකාර  නොලැබීම හේතුවෙන් සුව නොවන තුවාල පැවැතීම, ඇඟිලි කෙටි වීම දක්වා වර්ධනය විය හැකිය. එහෙත් ඇඟිලි හැළිමක් සිදු නොවේ. එසේම ලාදුරු රෝගය ස්පර්ශයෙන් බෝ නොවේ. ළඟම පිහිටි රජයේ චර් ම රෝග සායනයෙන් හෝ කොළඹ ජාතික රෝහලේ බාහිර  රෝගී අංශයේ මධ්‍යම ලාදුරු රෝගී  අංශයෙන් ප්‍රතිකාර ලබාගත හැකිය.

ලාදුරු රෝගය තුරන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්වලට අනුව පසුගිය අවුරුදු 20 ක දත්ත විශ්ලේශණය කිරීමෙන් ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 331න් රෝගීන් වාර්තා වීම අනුව රතු, තැඹ්ලි,  ලාකොළ සහ තද කොළ ලෙස කලාප 4 කට වර්ගීකරණය කෙරිණි. මෙයින් රතු කලාපය යනු ළමා සහ වැඩිහිටි රෝගීන් තවමත් වාර්තා වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 84 ක් වන අතර මෙහි මිලියන 8.3 ක පමණ ජනතාවක් ජීවත් වේ.

තැඹ්ලි කලාපයේ මිලියන 11ක් පමණ ජීවත් වන අතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 177ක් අයත් වේ. එම ප්‍රදේශවල ළමා රෝගීන් වාර්තා නොවන අතර වැඩිහිටි රෝගීන් පමණක් වාර්තා වේ. ලා කොළ කලාපයේ පසුගිය වසර 10 තුළ වැඩිහිටි රෝගීන් අවම වශයෙන් වාර්තා වූ අතර එයට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස  14ක් අයත් වේ. එහි මිලියන 0.5ක් පමණ ජීවත් වේ. මිලියනයක පමණ ජනතාවක් ජීවත්වන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 55 ක ළමා සහ වැඩිහිටි ලාදුරු රෝගීන් පසුගිය වසර කිහිපය තුළ වාර්තා නොවිණි.

කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාශයේ වසර 20 ක රෝගීන්ගේ දත්ත විශ්ලේෂණයට අනුව පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හැර අනිකුත් සියලුම කොට්ඨාසවල ළමා සහ වැඩිහිටි රෝගීන් වාර්තා වන අතර එකී කොට්ඨාසයේ ළමා රෝගීන් පමණක් දැනට වාර්තා වේ. 

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම රෝගීන් ගණනක් වාර්තා වනුයේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙනි. දළ වශයෙන් මොරටුවෙන් මසකට රෝගීන් 10 ක් පමණ වාර්තා විය යුතු (වසරකට රෝගීන් 120 ක් පමණ) නමුත් ගිය වසරේ මොරටුවෙන් වාර්තා වූ මුළු රෝගීන් ගණන වූයේ 45 කි. මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය සැලකූ විට වැඩිම අවදානමක් ඇති ප්‍රදේශ ලෙස එගොඩ උයන, විල්ලෝරාවත්ත, ලුනාව හඳුනා ගෙන ඇත.

ලාදුරු රෝගීන් ගෙන් 70% ක් පමණ තමන් විසින් ඇති වූ සැකයක් මත සමේ රෝග සායන කරා යොමු වීම මඟින් රෝග විනිශ්චය සිදු වී ඇත. ජනතාව දැනුවත් කිරීම මගින් රෝගීන් හදුනා ගැනීම වේගවත් කළ හැකි අතර එමගින් රෝගය පාලනය කිරීම සහ රෝගයෙන් සම්පුර්ණයෙන් සුවය ලැබීමට මනා පිටිවහලක් වනු ඇත. එසේම ඉදිරියේදී සිදු කරන පාසල් දරුවන් දැනුම් වත් කිරීමේ වැඩසටහන් සහ නිවාස වලට ගොස් පරීක්ෂා කිරීම වැනි වැඩසටහන් රාශියක් ලාදුරු තුරන් කිරීමේ ඉලක්කය කරා යාම කඩිනම් කරනු ඇත.  

මාධවී ධර්මරත්න


RECOMMEND POSTS