මවු කුස තුළ විස්මිත සැත්කම



මවු කුස තුළදී, නූපන් බිලිදියකට සැත්කමක් සිදු කෙරුණි. ඒ, විකෘති වුණු රුධිරවාහානී යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහාය. එය ඉතා අවදානම් සැත්කමකි. හේතුව, සැත්කම සිදු කෙරුණේ බිලිඳියගේ මොළ​යේ වීම නිසාය. අත්හදා බැලීම් වශයෙන් කර තිබුණත්, මෙවැනි සැත්කමක් මීට පෙර සිදු කර තිබුණේ නැත. ඒ බව ආඩම්බරයෙන් පැවැසුවේ, ඊට සම්බන්ධ ඇමෙරිකන් වෛද්‍යවරුන්ය. මෙම සැත්කම පසුගිය දිනවල විදෙස් පුවත් අතර ප්‍රමුඛ පුවත බවට ද පත් විය. විස්මිත සැත්කම සිදු කළේ ඇමෙරිකාවේ බොස්ටන් නුවර වෛද්‍යවරුන් කණ්ඩායමකි.

බිලිඳිය මුහුණ පා සිටියේ A vein of Galen malformation එසේත් නැතිනම් VOGM නමැති රුධිරවාහිනී විකෘති වීමේ තත්ත්වයටය. නිසි ලෙස රුධිර වහනය සිදු නොවුණහොත්, මොළයට, පෙනහළුවලට සහ හෘදයට හානි සිදුවීමට ඉඩ තිබුණි. රුධිරවාහිනී විකෘති තත්ත්වයෙන් බිලිඳිය උපන්නේ නම්, ඇයට සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බව වෛද්‍යවරුන් ට අවබෝධ වී තිබුණි. VOGM දුර්ලභ තත්ත්වයකි. දරු උපත් 60,000 ක් අතරින් එක් දරුවකු රුධිරවාහිනී විකෘති වීමේ තත්ත්වයට ලක් වන බව වෛද්‍යවරු පවසති.

බිලිඳිගේ මොළයේ රුධිරවාහිනී විකෘති තත්ත්වයෙන් පවතින බව අනාවරණය, බිලිදියගේ මව කෙන්යාටා කෝල්මන්, අල්ට්‍රා ස්කෑන් පරීක්ෂණවලට යොමු කළ විටය. බිලිඳියට සැත්කමක් කළ යුතු බව වෛද්‍යවරුන් පවසද්දී කෙන්යාටා කෝල්මන් කඳුළු සලන්න වූවාය. ‘එහෙම දෙයක් මා බලාපොරොත්තු වුණේ නැහැ. මගේ දූගේ මොළයේ රුධිර නාලිකා නිසි ලෙස ක්‍රියා කරන්නේ නැහැ වෛද්‍යවරුන් මට කීවා. මට දුකක් ඇති වුණා. ලොකු බයක් දැණුනා. ඒක ඉතාම දුර්ලභ රෝගී තත්ත්වයක් යැයි ඔවුන් මට පැහැදිලි කළා’ යැයි කෙන්යාටා කෝල්මන් මාධ්‍ය හමුවේ ඇය මුහුණ දුන් අත්දැකීම් විස්තර කරමින් පසුව පවසා තිබුණි. කෙන්යාටාගේ සැමියා ඩෙන්වර්ය. ‘සැත්කමක් කළ යුතුයි වෛද්‍යවරුන් අපට පෙන්වා දුන්නා. ඒක අවදානම් සැත්කමක්. ඒත් එය සාර්ථක වේවි යැයි ඔවුන් අපට සහතික වුණා.’ යැයි සැමියා ඩෙන්වර් පැහැදිලි කර තිබේ.

මවු කුසේ දීම බිලිඳියට සැත්කමක් කිරීම හැර විකල්පයක් නොවිණි. ඒ අනුව,අවදානම් සැත්කමට අත ගැසුවේ බොස්ටන් නුවර ළමා රෝහලේ වෛද්‍යවරුන් සහ බ්‍රිග්හැම් කාන්තා රෝහලේ වෛද්‍යවරුන්ය. ඔවුන් කළේ බිලිඳියගේ මොළයේ රුධිරවාහිනී යථා තත්ත්වයට පත් කිරීමය. විකිරණ ප්‍රතිකාර ක්‍රමයක් ද මෙහිදී භාවිතයට ගත් බව පැවැසෙයි. VOGM තත්ත්වය අල්ට්‍රා ස්කෑන් පරීක්ෂණයකින් සොයා ගනිද්දී බිලිඳිය සති 30 පසු කර තිබුණි. සැත්කම සිදු  කෙරුණේ බිලිදිය සති 34 ක් පසු කරද්දීය. බිලිඳිය උපත ලැබුවේ සැත්කම සිදුවී දින දෙකකට පසුවය. ඒ පසුගිය මාර්තු මාසයේය. වෛද්‍යවරුන් VOGM සැත්කම ගැන ලොවට හෙලි කළේ එය සියයට සියයක් සාර්ථක වුණු බව තහවුරු කර ගැනීමෙන් පසුවය.

‘ඇය උපන් අවස්ථාවේ, ඇය හයියෙන් අඬනවා මට ඇසුණා. මා දැනගත්තා මගේ පුංචි කෙල්ල යහතින් ඉන්නවා. ඒ වෙලාවේ දැණුනු හැගීම් වචනයෙන් විස්තර කරන්න මට බැහැ. මම ඇය තුරුළු කරගත්තා. ඇය අත හරින්න මට හිතුනේ නැහැ. මමත් සැමියාත් සැත්කම කළ වෛද්‍යවරුන්ට ස්තුතිවන්ත වෙනවා.’ යැයි කෙන්යාටා කෝල්මන් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූයේ සතුටු කඳුළු පිස දමමිනි. කෙන්යාටා කෝල්මන් ලුවිසියානා ජනපදයේ පදිංචිකාරියකි. බිලිඳියත් මවත් යහතින් පසුවන බව සැක හැර දැන ගැනීමෙන් පසු ඔවුන් දෙදෙනාට නිවසට යෑමට ඉඩ ලැබුණි. ඒ, බිලිඳිය උපත ලබා තවත් දින කීපයක් ගත වෙද්දීය.බිලිඳියට කිසිදු ආකාරයක ඖෂධයක් හෝ වෙනත් ප්‍රතිකාරයක් හෝ අවශ්‍ය නොවන බව වෛද්‍යවරුන්ගේ නිර්දේශය වී තිබේ.

බීබීසී ඇසුරිනි


RECOMMEND POSTS