දෙවැනි බූස්ටරය ඕනෑද?



ඇමෙරිකාවේ ඖෂධ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නේත්, ඖෂධ නිර්දේශ කරන්නේත් ‘ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය’ U.S. Food and Drug Administration (FDA) යි.

පසුගිය දා ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කළ බැවින්, ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි දෙවැනි බූස්ටර් එන්නතක්, පොදුවේ ගත් කළ සිවුවැනි එන්නත් මාත්‍රාවක් නිර්දේශ කළේය.

කැමැත්ත පරිදි, ෆයිසර් බයෝඇන්ටෙක් Pfizer-BioNTech හෝ මොඩර්නා Moderna එන්නකින් මෙම දෙවැනි බූස්ටර් එන්නත ලබා ගැනීම කළ හැකි යැයි ‘ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය’ දැනුම් දුන්නේය.

‘ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය’ නිර්දේශ කළේ මෙම දෙවැනි බූස්ටර් එන්නත අවුරුදු 50 සහ 50 ට වැඩි අයටත්, අවුරුදු 12 ට වැඩි ප්‍රතිශක්තිය දුර්වල අයටත් ලබා දීම සුදුසු බවය.

‘පැහැදිලිව කියන්න ඕනෑ, දෙවැනි බූස්ටර් මාත්‍රාව එසේත් නැතිනම් සිවුවැනි කොවිඩ් 19 එන්නත හැමෝම ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එසේ කරන්න හේතුවක් තවමත් ඇත්තේ නැහැ. අවුරුදු 65 ට වැඩි නම් ඔබ අනිවාර්යයෙන් දෙවැනි බූස්ටර් එන්නත ලබා ගැනීම කළ යුතුයි. 50 ට වැඩි සහ 65 ට අඩු අය සිටිනවා නම්, ඔවුන්ට අවශ්‍ය නම් දෙවැනි බූස්ටරය ලබා ගන්න පුළුවන්. ප්‍රතිශක්තිය දුර්වල අය සිටිනවා නම්, ඔවුන් ද බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගත යුතුයි’ යැයි ඇමෙරිකාවේ වසංගත රෝග පාලන සහ ව්‍යාප්තිය වළක්වා ගැනී​මේ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය රොචෙල් පී. වැලෙන්ස්කී මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

තවමත් ලොව ‘කොවිඩ් 19’ අතින් ඉදිරියෙන් පසුවන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. ‘ඔමික්‍රෝන්’ විකෘතිය ව්‍යාප්තියත් සමග ‘කොවිඩ් 19‘ අවසංගතයේ සැර බාල වුවත්, ම් වනවිට ‘ඔමික්‍රෝන්’ උප විකෘති කීපයක් නිර්මාණය වී තිබේ.

එම උප විකෘතිවලින් ඇතැම් ඒවා ඉතාමත් වේගයෙන් ව්‍යාප්තිය සිදුවෙයි. රෝහල්වලට ඇතුළත් කරන ‘කොවිඩ් 19’ රෝගීන් ගණන ද ඉහළ යමින් පවතී.

මේ වනවිට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ට ද ‘කොවිඩ් 19’ ආසාදනය වී ඇත. ‘කොවිඩ් 19’ ආසාදිතයකු වුවත් බයිඩන්ගෙන් බරපතල රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව පැවැසෙයි.

තම රෝගී තත්ත්වය දරුණු නොවන බවත්, ධවල මන්දිර වෛද්‍යවරුන් තමන් ගැන විමසිල්ලෙන් පසුවන බවත් 79 හැවිරිදි ජනාධිපති බයිඩන් ට්විටර් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත.

බයිඩන් නිරෝධායනයේ සිටිමින් රාජකාරි කටයුතුවල නියැළෙන ආකාරය ද වීඩියෝ දසුන්වලට ඇතුළත් වී තිබේ.

බයිඩන්, ජනාධිපති ධුරයට පත් වූයේ 2021 ජනවාරියේය. ඒ වනවිට ඔහු ‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව නිපදවා ඇති ‘ෆයිසර්’ එන්නතේ පළමු සහ දෙවැනි මාත්‍රා ලබා ගෙන තිබුණි. ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු බයිඩන් තෙවැනි සහ සිවුවැනි බූස්ටර් එන්නත් ද ලබා ගත්තේය.

ධවල මන්දිර වෛද්‍යවරුන්ගේ නිර්දේශ අනුව, බයිඩන්ට ‘ෆයිසර්’ සමාගම නිපදවා ඇති ‘පැක්ස්ලොවිඩ්’ ඔසුව ලබා දීම සිදුවෙයි.

‘පැක්ස්ලොවිඩ්’ යනු ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉක්මනින් සුවපත් කිරීමට නිපදවා ඇති සාර්ථක ඖෂධයකි. ‘කොවිඩ් 19’ ආසාදිතයකුට ‘පැක්ස්ලොවිඩ්’ ඖෂධය ලබා දුන් විට, වයිරසය සිරුර තුළ පිටපත් නිර්මාණය අඩපණ වෙයි. ඒ අනුව, ආසාදිතයා ඉක්මනින් සුවය ලබයි.

(ලයිව් සයන්ස් ඇසුරිනි)


RECOMMEND POSTS