සංචාරකයන්ට ආරක්ෂාව



මැදපෙරදිග කලාපයේ නොසන්සුන්කාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මෙරට විදෙස් තානාපති කාර්යාලවලට මෙන්ම විදේශීය සංචාරකයන් රැඳී සිටින හෝටල්වලට ද විශේෂ ආරක්ෂාවක් ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය පියවර ගෙන ඇතැයි ඩේලි මිරර් වාර්තා කරයි.

විදේශිකයන් නිතර ගැවසෙන හෝටල්වලට පමණක් නොව, ප්‍රසිද්ධ සංචාරක ස්ථානවල ආරක්ෂාව ද තර කරන ලෙස පොලිස්පති සංචාරක පොලිස් කොට්ඨාසය ඇතුළු සියලුම අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තහවුරු කර ඇත.

මැදපෙරදිග ගැටුම් හේතුවෙන්, විදේශ තානාපති කාර්යාල සහ විදෙස් සංචාරකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රචණ්ඩ ක්‍රියා හෝ විරෝධතා ඇතිවීමේ ඉඩකඩ සැලකිල්ලට ගනිමින් මෙසේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස්පතිවරයා තීරණය කළ බව ද පැවැසෙයි.

කෙසේ නමුත්, පොලිස් දෙපාර්තමේන්තුව මේ වන විට දැඩි නිලධාරී හිඟයකට මුහුණ පා සිටින අතර, ඒ හේතුවෙන් විදේශ තානාපති කාර්යාල සඳහා පැය 24 පුරා ස්ථාවර ආරක්ෂාවක් සැපයීම අභියෝගයක් වී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු පවසති.

මේ වනවිට කොළඹ පැවැත්වෙන පාසල් ක්‍රිකට් තරග පැවැත්වෙන බවත්, එම ක්‍රිකට් තරග හේතුවෙන්, පිරිස් පාලනය සහ රථවාහන හැසිරවීමට පොලිස් නිලධාරීන් බොහෝ දෙනකු යෙදවීම මෙම තත්ත්වය උත්සන්න කිරීමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

එසේ වුවත්, පාසල් ක්‍රිකට් තරග අවසන් වුණු පසු එම නිලධාරීන් තානාපති කාර්යාල සහ සංචාරක හෝටල්වල ආරක්ෂාව සඳහා යෙදවීමට නියමිත බව ද වාර්තා වේ.

විදෙස් තානාපති කාර්යාලය පිහිටා ඇති රාජ්‍ය තාන්ත්‍රික කලාප සහ සංචාරක ආකර්ෂණය දිනාගත් ස්ථානවල දිවා රාත්‍රී පුරා ජංගම මුර සංචාර සිදුවන බවත්, විශේෂයෙන් මෙරට ඇති 'චබාඩ්' මධ්‍යස්ථානවලට පැය 24 පුරා ආරක්ෂාව සැපයීමට කටයුතු කරන ලෙසත් පොලිස්පතිවරයා විසින් සංචාරක පොලිසියට උපදෙස් දී තිබේ.

'චබාඩ්' මධ්‍යස්ථාන යනු ලොව පුරා විසිරී සිටින යුදෙව් ජාතිකයන්ගේ, විශේෂයෙන්ම ඊශ්‍රායල ජාතිකයන්ගේ ආගමික සහ සමාජයීය අවශ්‍යතා වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන ප්‍රජා මධ්‍යස්ථානය.

 මෙරට ක්‍රියාත්මක කළ ආරක්ෂක විධිවිධාන පිළිබඳව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය විදේශිකයන්ගේ ආරක්ෂාව ගැන සොයා බලන බවය.

පොලිසියට අමතරව, ආරක්ෂක කටයුතු සඳහා හමුදාව යොදවා තිබේද යන්න පිළිබඳව ඔහු කිසිවක් සඳහන් කර නැත.

මේ අතර ගුවන් තොටුපළ ආරක්ෂාව වෙනදා මෙන්ම දැඩිව පවතින බවත්, ගුවන් ගමන් අවලංගු වීම් හේතුවෙන් අපහසුතාවයට පත් සංචාරකයන් ආරක්ෂිතව හෝටල් වෙත රැගෙන යෑමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවත් ගුවන් තොටුපළ සංචාරක අංශය පවසා ඇත.

ඇමෙරිකාව, ඊශ්‍රායලය විදේශගතව සිටින ඔවුන්ගේ වැසියන්ට උපදෙස් දී ඇත්තේ, සැමවිටම දැඩි විමසිල්ලෙන් පසුවන බවටය.


RECOMMEND POSTS