නව ඇමෙරිකා තානාපති ජුලී ජයුන්ග් චන්ග්



ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් විසින් ශ්‍රී ලංකාවේ නව ඇමෙරිකානු තානාපතිවරය ලෙස ජුලී ජයුන්ග් චන්ග් නම් කරනු ලැබ ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයකට පත් කිරීමට‌ බලාපොරොත්තු වන තානාපතිවරුන්ගේ නම් ඊයේ (15) ප්‍රකාශයට පත් කළේ ය.

අදාළ නම් ඇමෙරිකානු ජානාධිපතිවරයා එම රටවලට පත් කිරීමට බලාපොරොත්තු වන තානාපතිවරුන්ගේ නම් වන අතර ඒවාට අනුමැතිය හිමිවිය යුතු වේ. ජුලී ජයුන්ග් චන්ග් ගේ නම අනුමත වුවහොත් ඇය ශ්‍රී ලංකාවේ අති විශේෂ හා පූර්ණ බලැති ඇමෙරිකානු තානාපතිවරිය ලෙස පත්වනු ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද විදේශ සේවයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවක වන ජුලී ජයනුග් චන්ග් ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ (විදේශ කටයුතු) තනතුරු රැසක් හොබවා ඇත. ඊට අමතරව කාම්බෝජය, තායිලන්තය, ඉරාකය, කොලොම්බියාව, වියට්නාමය, ජපානය, චීනය, යන රටවල ඇමෙරිකාව නියෝජනය කරමින් රාජ්‍ය තාන්ත්‍රික තනතුරු හොබවා ඇත.

ඇමෙරිකාවේ කැලිෆෝනියා-සැන් ඩියාගෝ විශ්වවිද්‍යාලයෙන් සිය පළමු උපධිය ද ඇමෙරිකාවේ කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සහ රාජ්‍ය කටයුතු අධ්‍යයන අංශයෙන් (පාසලෙන්) සිය ශාස්ත්‍රපති උපාධිය ලබාගෙන ඇත.

ඇමෙරිකාවේ රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ සම්මාන ඇතුළු කීර්තිමත් සම්මාන හිමි කරගෙන ඇති ජූලි ජයුන්ග් චන්ග් එරට රාජ්‍ය ලේකම් විශිෂ්ට ගෞරව සම්මානය ද හිමි කරගෙන ඇත. ඇය කොරියානු, ජපාන, ස්පාඤ්ඤ භාෂා සහ අග්නිදිග ආසියානු කලාපයට ආවේණික කමේර් භාෂාව හොඳින් හැසිරවිය හැකි බව ද ධවල මන්දිරය සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ වත්මන් ඇමෙරිකානු තානාපතිවරිය වන්නේ ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් ය.

ඇය ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිවරිය ලෙස රාජකාරි ආරම්භ කරන ලද්දේ 2018 වසරේ ඔක්තෝබර් 22 වැනිදා ය. මේ අතර ජුලී ජයුන්ගේ චන්ග් ගේ නම යෝජනා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවට පමණක් වීම ද විශේෂත්වයකි.

ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් ශ්‍රී ලංකාවේ පමණක් නොව මාලදිවයිනේ ඇමෙරිකානු තානාපතිවරිය ද වන අතර මාලදිවයිනේ වෙනමම ඇමෙරිකානු තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇමෙරිකානු පරිපාලනයේ අවධානය යොමු වී තිබිණි.


RECOMMEND POSTS