ණය හිමියන්ගේ සමුළුවක් ජපානයේ



ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට සහාය වීම සඳහා ණය හිමියන්ගේ සමුළුවක් සංවිධානය කිරීමට ජපානය සූදානම් වේ.

එසේ වුවත්, පවතින අවිනිශ්චිතතා හේතුවෙන් සාකච්ඡාවලදී කුමක් සිදුවනු ඇත් ද යන්න සම්බන්ධයෙන් යම් ආකාරයක අස්ථාවර ස්වභාවයක් පෙන්නුම් කරන බව මේ සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයන් තිදෙනකු උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකාව නිදහසින් පසු මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදය මෙය වන අතර මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ණයහිමියන් සමඟ සාකච්ඡා කිරීමටත් ඊට සත්කාරකත්වය දැක්වීමටත් ජපානය සූදානම් බව පැවසෙයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට ණය ලබාදුන් ප්‍රධාන රටක් වන චීනය මෙම සමුළුවට සහභාගී වනු ඇත් ද යන්න පැහැදිලි නැතැයි මෙම සාකච්ඡාවලට සම්බන්ධ එක් නිලධාරියකු රොයිටර් පුවත් සේවයට පවසා ඇත.

චීනය සමඟ, මෙම සමුළුවේ සභාපතීත්වය දැරීමට ද ජපානය සිය කැමැත්ත පළ කර තිබේ. ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට එය උපකාරී වන්නේ නම් එසේ කිරීමට සූදානම් බව ද ජපානය පවසා ඇත.

රොයිටර් පුවත් සේවයට දැක්වූ එක් නිලධාරියකුට අනුව වසර 2020 අවසන් වනවිට ද්විපාර්ශවීය පදනම ශ්‍රී ලංකාව ගෙන තිබූ ණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.2ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

ද්විපාර්ශවීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ණය ලබාදුන් ප්‍රධාන රටවලට ආරාධනා කිරීම සඳහා ජපානයෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉකුත් සතියේ දී රොයිටර් පුවත් සේවයට පැවැසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේ දී ජපානයේ සංචාරය කිරීමට නියමිත අතර එහිදි ජපානයේ අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ද වාර්තා වේ.

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS