ලෝක බැංකු ආධාර යටතේ ආ පළමු එන්නත් තොගය



ලෝක බැංකුවේ මූල්‍යාධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබෙන ‘කොවිඩ්-19’ මර්දන එන්නත් මාත්‍රාවල පළමු තොගය ඊයේ (5) කොළඹට ළඟා වූ බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලෝක බැංකුවේ මූල්‍යාධාර යටතේ ඉදිරි සති කිහිපය තුළ ශ්‍රී ලංකාවට ඇමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා 800,000ක් ලැබීමට නියමිත අතර එහි පළමු තොගය මෙලෙස කොළඹට ළඟා විය.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ‘කොවිඩ්-19’ හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මේ වසරේ දෙසැම්බර් වනවිට එන්නත් මාත්‍රා මිලියන පහක් ලැබීමට නියමිත ය.

එහි කොටසක් ලෙස මෙම එන්නත් මාත්‍රා තොගය කොළඹට ළඟා විය. ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අතර ඉකුත් මැයි මාසයේ දී අත්සන් තබන ණය ගිවිසුමට අනුව එන්නත් සැපයීම සිදු කෙරේ.

ඊට අමතරව ලෝක බැංකුවේ එන්නත් අනුමැතිය ලබාදීමේ ක්‍රියාවලියට අදාළ උපමාන ද අයත් වන අතර එම ත්‍රිත්වයට අනුව එන්නත් සැපයීම සිදු කෙරේ.

ලෝක බැංකුවේ අනුමැතිය ලද හෝ කොවැක්ස් පහසුකම යටතේ ලැබෙන එන්නත්වලට ලෝක බැංකුවේ මූල්‍ය සහාය හිමි වේ.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ‘කොවිඩ්-19’ හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධති සූදානම් කිරීමේ වැඩසටහනේ සම්පූර්ණ වටිනාකම/වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 298.07ක් වේ. එයින් එන්නත් සඳහා ඇමෙරිකානු මිලියන 80.5ක මුදලක් වෙන් කර ඇත.


RECOMMEND POSTS