වයස අවුරුදු 15 දී විශ්ව විද්‍යාල වරම් ලැබූ දෙවුම්



ශ්‍රී ලංකාවේ අඩුම වයසින් විශ්ව විද්‍යාල වරම් ලැබූ සිසුවා ලෙස කඩවත, ණැනමල් රාජකීය විදුහලේ අධ්‍යාපනට ලබන දෙවුම් සනහස් රණසිංහ සිසුවා සමත්ව සිටී. පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දෙවුම්ගේ වයස අවුරුදු 15කි.

ඉකුත් 2021 වසරේ පාසලේ 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී අ.පො.ස. සාමාන්‍යය පෙළ විභායට පෙනී සිට සිංහල භාෂාව, බුද්ධ ධර්මය, ඉංග්‍රීසි, සෞඛ්‍යය, නාට්‍ය හා රංගකලාව, ඉතිහාසය යන විෂයන් 6 ට ‘ඒ’ සාමාර්ථ, ගණිතය, විද්‍යාව විෂයන්ට ‘බී’ සාමාර්ථ සහ වානිජ විෂයට ‘සී’ සාමාර්ථයක් සහිතව ඉන් සමත් විය. අනතුරුව පසුගිය වසරේ උසස් පෙළ විභාගයට ද පෙනී සිටි දෙවුම්

වානිජ විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටි දෙවුම් ගණකාධිකරණය, ආර්ථික විද්‍යාව හා ව්‍යාපාර අධ්‍යයනය යන විෂයන් තුනටම ‘බී’ සාමාර්ථ ලබා ගනිමින් ඉන් ද සමත් විය. එම ප්‍රතිඵල අනුව ඔහු ශ්‍රී  ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ  ක්‍රීඩා විද්‍යාව හා කළමනාකරණ උපාධිය හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇත.

එම විද්‍යාලයේම අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කරන අනුර රණසිංහ මහතා  හා අධ්‍යක්‍ෂිකා මල්කා රණසිංහ මහත්මිය දෙවුම්  සනහස්  සිසුවාගේ දෙමාපියන්ය.

ක්‍රිකට් ක්‍රීඩාවට ද දස්කම් දක්වන දෙවුම් ගම්පහ දිස්ත්‍රික් වයස අවුරුදු 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කර තිබේ.

“අපි හිතන විදිය වෙනස් කිරීම ඉදිරියට යන්න ගොඩක් වැදගත් වෙනවා. වෙනස් විදියට ලෝකෙ දිහා බලලා වෙනස් විදියට හිතුවොත් රටට අත්වෙලා තියෙන ඉරණමත් වෙනස් කර අපේ අනාගතයත් සාර්ථක කරගන්න පුළුවන්.” තම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් දෙවුම් පැවසීය.

“මම මේ ගමන ආවේ මගේ පාසල හා දෙමාපියන් නිසයි. මට වරදින හැමතැනදීම මාත් එක්ක අම්ම තාත්ත නොසිටියානම් මට මේ තරම් දුර එන්න බැහැ. ඒ වගේම මට මෙතෙක් අධ්‍යාපනය ලබාදුන්ගුරුවරු හැම කෙනෙක්ම මතක් කරනවා. එයාල නිවැරදි උපදෙස් දුන් නිසයි මම මෙතන ඉන්නේ. මගේ විභාග ප්‍රතිඵලය සමඟ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලබාගෙන තිබූ ජයග්‍රහණත් නිසා තමයි මට විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව උදාවෙන්නේ. නැත්නම් මට මෙවර මෙම අවස්ථාව නොලැබෙන්නත් තිබුණා.’ ඒ නිසා මගේ ක්‍රිකට් පුහුණුකරුවන් මතක් කළ යුතුයි’ ඔහු පැවසීය.

සටහන - ඩයනා උදයංගනී


RECOMMEND POSTS