වීසා අනුමත අයට ’ෆයිසර්’



විදේශ රටවල් 15ක රැකියා සදහා යාමට  රැකියා බලපත්‍ර සහ වීසා අනුමත වූ ලාංකික ශ්‍රමිකයන් 8000කට ආසන්න පිරිසක් එම රටවල් පිළිගන්නා ෆයිසර්  කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවත්, ඔවුන්ට අදාළ එම එන්නත ලබාදීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.

මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  ඩුබායි, බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදිඅරාබිය, සීෂෙල්ස්, සිංගප්පූරුව, දකුණු කොරියාව, මාලදිවයින, මැලේසියාව,ඊශ්‍රායලය, සයිප්‍රස් යන රටවලට එම ශ්‍රමිකයන් රැකියා සඳහා යාමට නියමිත යැයි ද කම්කරු අමාත්‍යවරයා කීය.

එම රටවල් පිළිගනුයේ  ෆයිසර් කොවිඩ් මර්දන එන්නත බැවින් එම එන්නත එම විදේශ රැකියා සඳහා යාමට අපේක්ෂිත සියලුදෙනා ට ලබාදීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යතුමිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් එකගත්වය පළ කළ බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  වැඩිදුරටත් කීය.

ඒ අනුව ඉදිරි සතියේ දී කොළඹ මධ්‍යස්ථානයක දී එම සියලුමදෙනා ට එම එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමටත් නියමිත පරිදි දෙවැනි එන්නත් මාත්‍රාව ලබා දී ඔවුන්ට ඉදිරි මාස දෙකක් ඇතුළතදී විදේශගත වීමට අවශ්‍ය පහසුකම් සලසා දීමට මෙහි දී අවධානය යොමුව ඇත.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා , සෞඛ්‍ය  අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශය අමාත්‍යාංශයේ බලධාරීන් සමඟ අදාළ එන්නත් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය  ඇතුළු  බලධාරීන් මෙම එකගත්වය පළ කර ඇත.

එසේම එම විදේශ රැකියා සඳහා යාමට රැකියා අවස්ථා ලැබ සිටින බොහෝ දෙනෙකු වයස අවුරුදු 30ට අඩු තරුණ තරුණියන්  නිසා ඒ පිළිබඳව විශේෂයෙන් සලකා බලා ඔවුන්ට එම එන්නත ලබා දීමට මෙහි දී සාකච්ඡා කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

( තිළිණි ද සිල්වා )‍‍


RECOMMEND POSTS