ජපාන මහාචාර්යවරියකගෙන් පොලිසියට පැමිණිල්ලක්



ජපානයේ නාගෝයා හි සංක්‍රමණික මධ්‍යස්ථානයක රඳවා සිටියදී මියගිය විෂ්මා සදමාලි නැමැති  ශ්‍රී ලාංකික ශිෂ්‍යාවගේ මරණය වැළැක්වීමට බලධාරීන් නිසි පියවර නොගෙන ඇතැයි සදහන් කරමින්   ජපාන මහාචාර්යවරියක් එරට පොලීසිය හමුවේ අපරාධ චෝදනා  පැමිණිල්ලක් ගොනු කර තිබේ.

නගෝයා නගර විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මහාචාර්යවරියක වන මසාකි හිරාටා නැමති ජපන් ජාතික කාන්තාවක් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇතැයි ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටී.

එම ජපන් මහාචර්යවරිය මියගිය රත්නායක ලියනගේ විෂ්මා සඳමාලිගේ නැමැති ලාංකික තරුණිය ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හැමවිටම පෙනී සිටි තැනැත්තියක බවද ඒම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිටී.

සෞඛ්‍ය තත්වය පිරිහී තිබියදීත් එම ලාංකික සිසුවියට සුදුසු වෛද්‍ය සේවාවන් සැපයීමට ජපන් බලධාරීන්  අපොහොසත් වූ බවට චෝදනා කරමින් , ඒසම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් පවත්වන ලෙසට මෙම ජපන් මහාචාර්යවරිය සිය පැමිණිල්ලෙන් වැඩිදුරටත්  සදහන් කර සිටින්නීය.‍

එම ලාංකික සිසුවියගේ මරණය ගැන තමා ජපන් පුරවැසියෙකු වශයෙන් දැඩි සිත් තැවුලට පත් වූ බවත් , තමාට මියගිය සිසුවිය වෙනුවෙන් කළ හැකි එකම උපකාරය ලෙසින්  මෙම පැමිණිල්ල ගොනු කළ බවද එම ජපන් මහාචාර්යවරිය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළ බවද තානාපති කාර්යාල ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.

ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මත උසස් අධ්‍යාපනය සදහා 2017 වසරේදී ජපානයට  ගොස් සිටි ගම්පහ , ඉඹුල්ගොඩ පදිංචිව සිටි විශ්මා සදමාලි නැමති මෙම 33 හැවිරිදි ලාංකික තරුණිය  වීසා කාලය ඉක්මවා එරට රැදී සීටීමේ චෝදනා මත 2020 වසරේ අගෝස්තු මාසයේදී ජපානයේ නාගෝයා හි සංක්‍රමණික මධ්‍යස්ථානයක රදවා තැබීමට එරට ආගමන විගමන බලධාරීන් කටයුතු කර තිබුණි.

බඩේ වේදනාව සහ වෙනත් රෝග ලක්ෂණ  නිසා දැඩි අසීනප තත්තවයෙන් සිටි එම ලාංකික සිසුවිය ඉකුත් මාර්තු 6 වැනිදා එම මධ්‍යස්ථානයේදී     මිය ගියාය.

එලෙස අසනීප තත්ත්වයේ සිටි ලාංකික සිසුවියගේ තත්ත්වය බරපතල වීමට පෙර  ඇයව තාවකාලිකව නිදහස් කරන ලෙස ආධාරක කණ්ඩායමක් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම ගැන ද ජපන් මහාචාර්යවරිය සිය පැමිණිල්ලේ සදහන් කර ඇත.

පිටුවහල් කිරීමට මුහුණ දී සිටින විදේශිකයන් දින නියමයක් නොමැතිව රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ජපානයේ සංක්‍රමණ සහ සරණාගත ක්‍රමයට ඇති ගැටළු වලට සාක්‍ෂි ලෙස විචාරකයින් මෙම ලාංකික සිසුවියගේ මරණය පෙන්වා දෙති‍‍.

මේ අතර ජපාන අධිකරණ අමාත්‍යාංශය තවමත් මෙම ලාංකික සිසුවියගේ මරණයට හේතුව නිශ්චය කර නොමැති අතර, ආරක්ෂක හේතූන් මත ඇය එම ස්ථානයේ සිටින වීඩියෝ දර්ශන මුදාහරින ලෙස ඒම ලාංකික දැරියගේ පවුලේ අය සහ ආධාරකරුවන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමටද කටයුතු කළේය.

මෙම ලාංකික තරුණියට නුසුදුසු ලෙස සැලකීම සම්බන්ධයෙන් ජපාන රජය පසුගිය මාස කිහිපයේ දැඩි විවේචන එල්ල වූ අතර සංක්‍රමණිකයින් පිළිබඳ නීති සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමටද ජපාන රජයට හේතුවිණි.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS