ජනපති COP26 සමුළුවට



එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හි පැවැත්වෙන COP26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (30) අලුයම දිවයිනෙන් පිටත් ගියහ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, සූර්යබල, සුළං හා විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, පරිසර අඅමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ජනාධිපතිතුමා සමග මෙම සංචාරයට එක්ව සිටිති.

දේශගුණික විපර්යාස සහ ඊට මුහුණ දෙමින් කටයුතු කිරීමට රටවල් සැලසුම් කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කෙරෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව හෙට (31) සිට නොවැම්බර් 12 දක්වා ග්ලාස්ගොව් නුවරදී පැවැත්වෙයි.

නොවැම්බර් 1 සහ 2 යන දෙදින එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබේ.

“දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” ලෙස පැවැත්වෙන මෙම සමුළුවට ලොව පුරා රටවල් 197ක රාජ්‍ය නායකයෝ, රාජ්‍ය නියෝජිතයෝ, විද්වත්හු, ව්‍යාපාරිකයෝ ඇතුළු ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරන විසිපන්දහසක පමණ පිරිසක් සහභාගී වෙති. එක්සත් රාජධානියේ මෙතෙක් පැවති විශාලතම සමුළුව මෙය බව ද වාර්තා වේ.


RECOMMEND POSTS