සූර්ය බල ව්‍යාපෘතී සඳහා මිලියන 100 ක ණයක්



සූර්ය බල ක්ෂේත්‍රයේ ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් ප්‍රදානය කරමින් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අපනයන-ආනයන බැංකුව අතර අද (16) ගිවිසුමකට අත්සන් තැබිණි.

ඉන්දියාවේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු අත්සන් තැබූහ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

මෙම ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකම 2018 වසරේ මාර්තු මාසයේ පැවැති ජාත්‍යන්තර සූර්ය බල සන්ධානයේ සමාරම්භක සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලද ව්‍යාපෘති ඇතුළු නිවාස සහ රජයේ ගොඩනැගිලි මත සූර්ය පැනල පද්ධති සවි කිරීම ආදී ශ්‍රී ලංකාවේ සූර්ය බල ක්ෂේත්‍රයේ විවිධ ව්‍යාපෘති සඳහා අරමුදල් සපයනු ඇත.

2030 වන විට ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරාලීම ගැනීමට බලාපොරොත්තු වන බව මෑතකදී නිමා වූ ශ්‍රී ලංකා ආයෝජන සංසදය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ අනුව එම ඉලක්කයට ගමන් කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගත් පළමු රට බවට ඉන්දියාව පත්විය.

සූර්ය බලය මහා පරිමාණයෙන් යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීමට සහ තාක්ෂණය, අරමුදල් සපයා ගැනීම සහ ධාරිතාවය යනාදිය සම්බන්ධයෙන් වන අභියෝග ජයගැනීමට රටවල් එකට එක් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් යන මහත්වරුන් ඒකාබද්ධව එළිදක්වන ලද ජාත්‍යන්තර සූර්ය බල සන්ධානයේ ගිවිසුම් රාමුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 89ක් අත්සන් තබා ඇත.


RECOMMEND POSTS