මිලියන 3.4 කට ජීවිතාරක්ෂක ආධාර දෙන්න ඕනෑ



වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිලියන 3.4ක ජනතාවකට ජීවිතාරක්ෂක ආධාර සැපයිය යුතු යැයි ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කණ්ඩායම සහ රාජ්‍ය නොවන සංවිධාන ඔවුන්ගේ ඒකාබද්ධ මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (එච්.එන්.පී) සැලැස්ම සංශෝධනය කර එය දීර්ඝ කිරීමට පියවර ගත්තේ ය.

ශ්‍රී ලංකා රජය කර ඇති ඉල්ලීමකට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙර‌ට ණය සහ ආධාර ඖෂධ හිඟය සඳහා සහාය දක්වයි. එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක විවිධ අංශ ඔස්සේ මෙම සහාය ලබාදෙන අතර එය ක්‍රියාත්මක ඒකාබද්ධ මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (එච්.එන්.පී) සැලැස්ම ඔස්සේ ය. ඉකුත් ජූනි මාසයේ සිට මෙය ක්‍රියාත්මක වේ.

මුදල්, ආහාර, පාසල්, ඖෂධ, ආරක්ෂාව සහ ජීවනෝපාය සහනාධාර ඇතිව රටේ වඩාත්මන අවදානමට ලක්විය හැකි පුද්ගලයන් මිලියනයකට අධික පිරිසකට සහන සැලසීම සඳහා විවිධ රජයන් සහ පරිත්‍යාගශීලි ආයතන සහයෝගය දක්වා ඇත.

එක්සත් ජාතීන්ගේ නියෝජිතායතනවල ඉල්ලීම් අනුව, ඇමෙරිකා එක්සත් ජනපදය, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද කාර්යාංශය, ජයිකා (JICA) සහ ජපානය, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජාතීන්ගේ මධ්‍යම හදිමි සහන අරමුදල ශ්‍රී ලංකාවට ‌මේ දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 79ක මුදලක් එක්රැස් කර දී ඇත.

කැනඩාව, ඩෙන්මාර්කය, නෝර්වේ, නවසීලන්තය, ඉතාලිය, යුරෝපා සංගමය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය ඊට සහාය දක්වා ඇත. ඊට අමතරව එක්සත් රාජධානිය, ජර්මනිය, තායිලන්තය, ස්වීඩනය, ජෝර්ජියාව, ලැටර් ඩේ සෙන්ට් චැරිටීස් (Latter Day Saint Charities) පුණ්‍යායතනය, විවිධ පුද්ගලයන් සහ බ්‍රැන්ඩික්ස්, හේමාස්, ඩිල්මා, දරාස්, අමානා බැංකුව සහ සිටි පදනම යනාදී ආයතන මීට අතිරේක සහාය දක්වා ඇත.

ඒකාබද්ධ මානුෂීය අවශ්‍යතා සහ ප්‍රමුඛතා (එච්.එන්.පී) සැලැස්ම 2022 දීර්ඝ කරන අතර සැලැස්මේ යටතේ එක්රැස් කිරීමට බලාපොරොත්තු වන සම්පූර්ණ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 149.7ක් දක්වා වැඩි කර ඇත.

ඒ අනුව තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක මුදලක් අවශ්‍ය වේ. 

හර්ෂණ තුෂාර සිල්වා


RECOMMEND POSTS