ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් එනවා



කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීම සඳහා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයශංකර් මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා බ්‍රහස්පතින්දා මෙරටට පැමිණෙනු ඇතැයි ද එහිදි විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත යැයි ද ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.

බලශක්ති සුරක්ෂිතතාව, ආහාර සුරක්ෂිතතාව, මුදල් හුවමාරු ගිවිසුම් සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත යැයි ද එමෙන්ම මෙම සංචාරයේ දී නිවේදන කිහිපයක් නිකුත් කරනු ඇතැයි ද ‘ද හින්දු’ වාර්තාවේ දැක්වේ.

‘ද හින්දු’ පුවත්පතට අනුව ඉන්දීය විදේශ අමාත්‍යවරයා දින දෙකක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.

“මෙම සංචාරයේ දී ඉන්දියාව ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට ධනාත්මක ප්‍රතිචාරයක් දක්වාවි” යැයි මේ සම්බන්ධයෙන් දැනුම ඇති ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.

ඉන්දියාව පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 4ක සහාය ලබා දී ඇත. ණය, ණය මාර්ග, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම සඳහා මූල්‍ය සහාය යනාදිය ඊට අදාළ වේ.

මෙහිදි ත්‍රිකුණාමල සංවර්ධන ව්‍යාපෘතිය සහ දීර්ඝ කාලයක් මුළුල්ලේ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන සමුද්‍ර-සන්ධීය සම්ප්‍රේෂණ සම්බන්ධතාව සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිත ය. මෙමඟින් ශ්‍රී ලංකාවට ඉන්දියාවේ බලශක්ති පද්ධතියට ප්‍රවේශ වීමට අවස්ථාව සැලසේ. ඉන්දියාව නේපාලය, භූතානය සහ බංග්ලාදේශය වැනි රටවල් ද සම්බන්ධ කරගනිමින් මෙම පද්ධතිය සකස් කිරීමට නියමිත ය. අදාළ හරස් සමුද්‍ර-සන්ධීය සම්ප්‍රේෂණ සම්බන්ධතා ජාලයට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණහොත් ශ්‍රී ලංකාවට ඉන්දියාවේ බලශක්ති පද්ධතියට ප්‍රවේශ වීමට අවස්ථාව සැලසේ.

මේ වනවිට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාවට සහාය දීම ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙම ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රමුඛතාව යැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්ව මේ වනවිට මාස හයක් ගත වී තිබෙන අතර රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු ඉන්දීය විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.


RECOMMEND POSTS