කෙල්ලගේ කොල්ලන් පළමු උපන් දිනේ



දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වෙසෙන රොබින් සහ කෙල්ල යන බෙංගාල ව්‍යාඝ්‍ර යුවලට දාව ඉකුත් වසරේ මාර්තු මස 5 වන දින උපත ලැබූ අකිරා, ඩියෝ, ඩූමා යන පිරිමි ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා ඊයේ (5) සිය පළවන උපන් දිනය සැමරූහ.

මෙම ව්‍යාඝ්‍ර පැටවුන් පසුගිය කාලයේ දී සත්වෝද්‍යානය නරඹන්නට එන ජනතාවගේ දැඩි ආකර්ෂණයක් හිමිකරගත් අතර, එම පැටවුන් නැරඹීම සඳහාම සත්වොද්‍යානයට පැමිණෙන පිරිස් ද සිටි බව වාර්තා විය.

මෙම පැටවුන්ගේ දෙමාපියන් වන රොබින් සහ කෙල්ල සත්ව හුවමාරු වැඩ සටහනක් යටතේ චීනයේ සියැංජින් සෆාරි උද්‍යානයෙන් මෙරටට ලැබී තිබිණි.

පැටවුන්ගේ මව වූ කෙල්ල නැමති ව්‍යාඝ්‍ර ධේනුව ඉකුත් සැප්තැම්බර් 5 වැනිදා එනම් පැටවුන්ට මාස 6ක් පිරුණු දිනයේම ජීවිතයෙන් සමුගෙන තිබිණි. ඒ පිළිකා රෝගයක් හේතුවෙනි.

මෙම පැටවුන්ගේ පළමු ජන්ම දිනය වෙනුවෙන් සත්වෝද්‍යාන පරිශ්‍රය තුළ විශේෂ ජන්ම දින සැමරුමක් ද සංවිධානය කර තිබූ අතර, බෙංගාල ව්‍යාඝ්‍ර පැටවුන් වෙනුවෙන් උපන්දින කේක් ගෙඩියක් පවා සූදානම් කර තිබිණි.

මේ වන විට වෙනම කූඩුවකට වී කෙලිදෙලෙන් පසුවන එම ව්‍යාඝ්‍ර පැටවුන් තම උපන්දින කේක් භුක්තිවින්දේ ඉමහත් සතුටකින් බව දක්නට ලැබිණි.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතාගේ උපදෙස් පරිදි, එහි අධ්‍යක්‍ෂ (මෙහෙයුම්) අනෝමා ප්‍රියදර්ශනී, නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා දිනූෂිකා මානවඩු, අධ්‍යාපන නිලධාරී නිහාල් සෙනරත් යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් සත්ව පාලකවරු වන තිලක්   පුෂ්පකුමාර,  පාලිත පෙරේරා, අශෝක ජයලත් යන මහත්වරුන් ඇතුලු කාර්ය මණ්ඩලය මෙම වැඩ සටහන සංවිධානය කර තිබිණි.

සටහන - ඩයනා උදයංගනී

 


RECOMMEND POSTS