විදේශගත ලාංකිකයන්ගේ සහයට කාර්යාලයක්



විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මධ්‍යම සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කිරීමට හැකි පරිදි ‘විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ කාර්යාලයක්’ පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

එතෙර වෙසෙන මිලියන තුනක් පමණ ශ්‍රී ලාංකිකයන්ගේ දායකත්වය මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාගැනීමට හැකිපරිදි ජනාධිපති කාර්යාලය යටතේ මෙය පිහිටුවීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2022 අතුරු අයවැය මගින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව මෙම කාර්යාලය පිහිටුවීමටත්, එහි කටයුතු විධිමත්ව පවත්වාගෙනයාමටත්, විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
එමෙන්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානයක් මොනරාගල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය.

භූගෝලීය වශයෙන් මෙරට දෙවන විශාලතම දිස්ත්‍රික්කය මොනරාගල දිස්ත්‍රික්කය වුවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කිසිදු කාර්යාලයක් හෝ පුහුණු මධ්‍යස්ථානයක් එම දිස්ත්‍රික්කයේ නොමැති බව ඇමතිවරයා පැවසීය.

දැනට දිවිනැඟුම දෙපාර්තමේන්තුව භාරයේ පවතින මොනරාගල - බිබිල මාර්ගයේ පුහුණු මධ්‍යස්ථානයෙහි මෙම නව මධ්‍යස්ථානය ආරම්භ කිරීමට නියමිත බව කී ඇමතිවරයා මොනරාගල දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල්වල විදේශ රැකියා අපේක්ෂා කරන්නන්ට අවශ්‍ය පුහුණු පහසුකම් සලසාදීමට මෙමගින් හැකිවන බව ද කීය.

කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ගුණවර්ධන මහතා  ප්‍රකාශ කළේය. 

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS