’මොඩර්නා’ ආවා



ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩාර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15 ක තොගයක් මෙරටට අද (16) උදෑසන රැගෙන එනු ලැබීය. මෙම එන්නත් තොගය ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන යටතේ ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පිරිනමනු ලැබූ වූවකි.

එන්නත් තොගය පළමුවෙන් ඇමෙරිකාවේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගෙනැවිත්, ඉන්පසු එතැන සිට කටාර් ගුවන් සේවයේ QR 664 ගුවන් යානයෙන් අද (16) උදෑසන 09.09 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

එන්නත බාරගෙන ශ්‍රී ලංකා රජයට ලබා දීම කළේ ගුවන්තොටුපොළට ගොස් සිටි ඇමෙරිකා තානාපතිනී ඇලීනා ලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මියයි. මෙම අවස්ථාවට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි, අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඇතුළු පිරිසක් එක් වී සිටියහ.

එන්නත් තොගය ගුවන් යානයෙන් ගොඩ බෑමෙන් පසුව, කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ඒකකයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගැණින.

මීට පෙර ලැබුණු 'ඔක්ස්ෆර්ඩ් කොවිෂීල්ඩ්' එන්න, 'රුසියාවේ ස්පුට්නික්' එන්නත හෝ චීනයේ 'සයිනෝෆාම්' එන්නත මෙන් නොව, 'ෆයිසර්' එන්නත හා සමානව මෙම 'මොඩර්නා' එන්නත ද අධිශීතකරණයක ගබඩා කළ යුතුවෙයි.

කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ඒකකයේ තැන්පත් කළ එන්නත් තොගය ඉන්පසුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථවලින් මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණයට වෙත ප්‍රවාහණය සිදු කෙරුණි.

අද (16) ලැබුණු මෙම 'මොඩර්නා' එන්නත් තොගය ලබා දීමට නියමිතව ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවටය. එම එන්නත කොරෝනා වයිරසයේ විකෘති ප්‍රභේද කිහිපයක් සඳහා සාර්ථකව ප්‍රතිචාර දක්වන බව මෙතෙක් සිදුකර ඇති පර්යේෂණවලින් හෙළිවී තිබේ.

මේ වනවිට ලොව පුරා බිහිසුණු ලෙස ව්‍යාප්ත වන, මෙරටින් ද හමුවන ඩෙල්ටා විකෘතිය අඩපණ කිරීමේ හැකියාව 'මොඩර්නා' එන්නත සතු යැයි පැවැසෙයි. 'ෆයිසර්' එන්නත මෙන්ම 'මොඩර්නා' එන්නත ද mRNA එන්නතකි. මාත්‍රා දෙකකි.


RECOMMEND POSTS