සත්වෝද්‍යානයේ සතුන් වනෝද්‍යානවලට



දෙහිවල සත්වෝද්‍යානයේ අවශ්‍ය ප්‍රමාණයට වැඩියෙන් සිටින සතුන් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව සතුන්ට හානියක් නොවන අයුරින් වනාන්තරවලට නිදහස් කිරීමට සාකච්ඡා කරගෙන යන බව එහි අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසීය.

සත්වෝද්‍යානයේ සතුන්ට අවශ්‍ය ආහාර ලබාදීමේ ගැටලුවට විසඳුම් ලෙස මෙම පියවර ගන්නා බවත්, අවශ්‍ය ආහාර හැකිතාක් සත්වෝද්‍යානය විසින්ම නිපදවීමේ වැඩපිළිවෙලක් මේ වන විට සැලසුම් කර ඇති බවත් තිලක් ප්‍රේමකාන්ත මහතා කීවේය.

දැනට සත්වෝද්‍යානය සතුව පවතින ගෝනපල ගොවිපල තවදුරටත් සංවර්ධනය කර ‘තණකොල, පළතුරු මසුන්’ ආදී ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමටත්,  රිදියගම සෆාරි උද්‍යානයේ නව ගොවිපලක් ඇතිකර එහි සත්ව ආහාර නිපදවීමටත් තීරණය කර ඇතැයි ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

සත්ව ආහාරවලට යන වියදම අඩුකිරීම සඳහා ඇපල් වැනි ආනයනික ආහාර වෙනුවට සතුන්ගේ සෞඛ්‍යයට හානියක් නොවන අයුරින් පේර වැනි දේශීය ආහාර යොදාගැනීම සඳහා පර්යේෂණ කරගෙන යන බව ද හෙතෙම පැවසීය.
එමෙන්ම සත්වෝද්‍යානයේ ආදායම් මහජනතාවට බරක් නොවන ලෙස වැඩිකරගැනීමටත් සැලසුම් කරගෙන යන බව ද අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය.

මේ වන විට සතුන්ට ආහාරවල හිඟයක් නැති නමුත් ඉදිරියේදී මතුවිය හැකි බැවින් ඒ ගැන ඇමතිවරයා දැනුවත් කළ බව කී අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මේ වන විට සතුන්ට ආහාර ලබාදීම සඳහා ආධාර කිරීමට බොහෝ දෙනෙක් කැමැත්ත දක්වා ඇති බවත්, ඒ සඳහා ආධාර කරන්නේ නම් සත්වෝද්‍යාන අරමුදලට පමණක් ආධාර ලබාදෙන්නැයි ඉල්ලා සිටින බවත් ඔහු පැවසීය.

සත්වෝද්‍යානයේ සතුන් වෙනුවෙන් මාපිය කැපකරු ක්‍රමයක් ඇතිකිරීමටත් කටයුතු කරගෙන යන බව අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියාසිටියේය.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS