වරාය නගරයට නව වීසා කාණ්ඩ



කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙක් පාර්ශවයන් සඳහා නව වීසා කාණ්ඩ කිහිපයක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත මෙම වීසා වර්ග හඳුන්වාදීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ අනුව වාස වීසා කාණ්ඩය යටතේ ආයෝජකයින් සඳහා “ආයෝජක” වීසා කාණ්ඩය, සේවා නියුක්තිකයින් වෙනුවෙන් “සේවා නියුක්ත” වීසා කාණ්ඩය සහ කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශකයින් සඳහා “සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු” වීසා කාණ්ඩය යන වීසා කාණ්ඩ හඳුන්වාදීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේය.

බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙම අනුමැතිය හිමිවූ බව ද ඇමතිවරයා කීය.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS