බිය ගැන්වීම්වලට ගොදුරු විය යුතු නෑ



සාමකාමී විරෝධතාකරුවන් කිසිසේත් ප්‍රචණ්ඩත්වයට, තැති ගැන්වීම් හෝ බිය ගැන්වීම්වලට ගොදුරු නොවිය යුතු යැයි ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇමෙරිකා එක්සත් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැයි මස 10 වැනිදා මාධ්‍ය හමුවක් පැවැත්විණි.

එහිදි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් ඒ බව පැවැසීය.

හමුදාව යෙදවීම සම්බන්ධයෙන් ද ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධානය යොමු කර ඇතැයි කී හෙතෙම හමුදාව හෝ සිවිල් කණ්ඩායමක් හෝ වේවා එවැනි කිසිවකුගේ ප්‍රචණ්ඩත්වයට, තැති ගැන්වීම් හෝ බිය ගැන්වීම්වලට සාමකාමී විරෝධතාකරුවන් කිසිසේත් ගොදුරු නොවිය යුතු යැයි ද හෙතෙම කීවේ ය.

ඉකුත් දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සහ සාමකාමී විරෝධතාකරුවන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් මෙම ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඒවාට සම්බන්ධ සියලු දෙනා සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් කර වැරැදිකරුවන් අත්අඩංගුවට ඔවුන් දඬුවම් පැමිණ විය යුතු බවත් නෙඩ් ප්‍රයිස් කීය.

හමුදාව යෙදවීම සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බවත් අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමෙන් පසු ශ්‍රී ලංකාව තුළ ඇති වී තිබෙන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ද විමසිල්ලෙන් සිටින වබත් ඔහු පැවැසීය.

මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් පියවර ගන්නැයි රජයට සහ දේශපාලන නායකයන් අවධාරණය කරන බවත් ශ්‍රී ලංකාව තුළ දිගුකාලීන දේශපාලන සහ ආර්ථික නිදහස ඇති කිරීමටත් තිබෙන අර්බුද හඳුනාගනිමින් ඒවාට විසඳුම් සෙවීමට පියවර ගන්නා ලෙසත් දැඩිව කියන බවත් හෙතෙම කීවේ ය.

රට තුළ තිබෙන බලශක්ති, ආහාර, සහ ඖෂධ හිඟය ඇතුළු ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාවගෙන් පැන නැග තිබෙන විරෝධයට මෙන්ම ඔවුන්ට ඔවුන්ගේ රටේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් ඇති ගැටලුවලට විසඳුම් දීමටත් ආණ්ඩුව පියවර ගත යුතු යැයි ද ඔහු වැඩිදුරටත් පැවැසීය. 


RECOMMEND POSTS