ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජයටම



සාහිත්‍ය මාසය නිමිති කරගනිමින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වාර්ෂිකව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’ කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සාර්ථකව පැවැත්වෙයි.

පොත් ප්‍රදර්ශනය විවෘත කෙරුණේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙවර මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 23 වැනි වරට ය. ලබන 25 වැනිදා තෙක් දිනපතා ප්‍රදර්ශනය පැවැත්වෙයි.

මෙවර පොත් ප්‍රදර්ශනයට දෙස් විදෙස් පොත් ප්‍රකාශකයින්ගේ පොත් කුටි 400කට වැඩි ප්‍රමාණයක් ඇතුළත් බවත්, ප්‍රදර්ශන භූමියට දිනපතා බොහෝ පිරිසක් පැමිණෙන බවත් වාර්තා වේ.

පසුගිය වසරේ කොවිඩ් වසංගත තත්වය ඇතුළු රට තුළ පැවති අර්බුදකාරී තත්වය හේතුවෙන් පොත් ප්‍රදර්ශනය නොපැවැත්වුණු නිසා එම වසරේ සහ මෙම වසරේ අලුතෙන් ප්‍රකාශයට පත්කෙරුණු කෘතීන් විශේෂ වට්ටම් සහිතව මෙහිදී මිලදී ගැනීමේ අවස්ථාව උදා වී ඇත.

කොවිඩ් වසංගත තත්වයෙන් ආරක්ෂාවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ලබා දී ඇති උපදෙස් පොත් ප්‍රදර්ශන භූමියේදී සියයට සියයක් ක්‍රියාත්මකය.

පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන සෑම දිනකම සංස්කෘතික සංදර්ශන, සංගීත වැඩසටහන් ආදිය මෙන්ම නව පොත් එළිදැක්වීම් ඇතුළු කටයුතු රැසක් ද සංවිධානය කර තිබේ.

සටහන සහ ඡායාරූප
ඩයනා උදයංගනී

RECOMMEND POSTS