ඉන්දියාවෙන් පූර්ණ සහාය



ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පූර්ණ සහයෝගය දක්වන බව ඉන්දියාව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍ය කරන ලද විමසීම්වලට පිළිතුරු දෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් ඒ බව ප්‍රකාශ කර ඇත.

එම නිවේදනයේ මෙසේ ද දැක්වේ.

“ශ්‍රී ලංකාවේ සිදුවීම් සම්බන්ධයෙන් වන මාධ්‍ය විමසීම් සඳහා ප්‍රතිචාර වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මාධ්‍ය ප්‍රකාශකතුමා විසින් 2022 මැයි 10 වන දින නව දිල්ලියේ දී පහත දැක්වෙන අදහස් ප්‍රකාශ කරන ලදී.‍

ඓතිහාසික සබඳතා සහිත ශ්‍රී ලංකාවේ සමීප අසල්වැසියකු වශයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසාධනය උදෙසා සම්පූර්ණ සහයෝගය ලබා දෙයි.

අපගේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය අනුව ඉන්දියාව  වර්තමාන දුෂ්කරතා ජයගැනීම සඳහා ශ්‍රී ලාංකික ජනතාවට මෙම වසරේදී පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 3.5කට අධික සහයෝගයක් ලබා දී ඇත. මෙයට අමතරව ඉන්දීය ජනතාව ආහාර සහ ඖෂධ වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය අවම කිරීම සඳහා ද සහයෝගය ලබා දී ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් හරහා ප්‍රකාශ වන ශ්‍රී ලාංකික ජනතාවගේ සුබසිද්ධිය මත පදනම්ව ඉන්දියාව සැමවිටම කටයුතු කරනු ඇත.”

(හර්ෂණ තුෂාර සිල්වා)


RECOMMEND POSTS