විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවට



2021 විශ්ව රූ රැජින තරගාවලිය පෙරේදා (16) ඇමෙරිකාවේ ෆ්ලොරීඩා හි සෙමිනෝල් හාඩ්රොක් හෝටලයේදී අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වුණු අතර, 2021 විශ්ව රූ රුජින ලෙස කිරුළු පැලඳියේ මෙක්සිකෝව නියෝජනය කරමින් තරගාවලියට ඉදිරිපත් වුණු සුරූපිනී අන්ද්‍රෙයා මෙසාය.

26 හැවිරිදි අන්ද්‍රෙයා මෘදුකාංග ඉන්ජිනේරුවරියක වන අතර විනෝදාංශය ලෙස මෝස්තර නිරූපිකාවක ලෙස ද කටයුතු කරයි. විශ්ව රූ රැජින කිරුල ජයග්‍රහණය කළ තෙවැනි මෙක්සිකෝ සුරූපිනිය වන්නේ ද මැයයි.

විශ්ව රූ රැජින තරගාවලියට රටවල් 74 කින් සුරූපිනියන් සහභාගී වූ අතර, අවසන් වටයට ඒ අතරින් 21 දෙනකු තෝරා ගැනීම සිදුවිය.

විනිසුරුවරුන්ගේ තීරණ අනුව, ලකුණු දීමේ පිළිවෙළ මත අවසන් සුරූපිනියන් තිදෙනා වූයේ අන්ද්‍රෙයා, ජුලියා ගාමා සහ ජැනික් මැසෙටාය. ජුලියා ගාමා බ්‍රසීලය නියෝජනය කළ සුරූපිනිය වන අතර ඇය දෙවැනි ස්ථානයට පත් වූවාය. තෙවැනි ස්ථානයට පත් ජැනික් මැසෙටා පේරු සුරූපිනියයි. මෙක්සිකෝ, බ්‍රසීලය සහ පේරු යනු ලතින් ඇමෙරිකා රටවල්ය.

'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් පසුගිය 2020 වසරේ විශ්ව රූ රැජින තරගාවලියක් පැවැත්වීම සිදුවූයේ නැත. එහෙයින්, මෙවර 2021 විශ්ව රූ රැජින ලෙස ජයග්‍රහණය කළ අන්ද්‍රෙයා ට කිරුළු පැලඳීම සිදු වූයේ 2019 විශ්ව රූ රැජින දකුණු අප්‍රිකානු ජාතික සොසිබීනි ටුන්සී අතිනි.

සෙමිනෝල් හාඩ්රොක් හෝටලයේ අති උත්කර්ශවත් අන්දමින් පැවැත් වුණු රූ රැජින තරගාවලිය සජීවීව ඇමෙරිකන් නාළිකා ඔස්සේ විකාශය කෙරුණි. තරගාවලිය මෙහෙයවීම සිදුවූයේ ඇමෙරිකන් රූපවාහිනී නිවේදකයකු වන මාරියෝ ලෝපේස් සහ 2012 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැලඳි ඔලිවියෝ කුල්පා එක් වෙමිනි.

(ඩේලිමේල්)


RECOMMEND POSTS