පුවත් මවන නේහා ෂර්මා



නේහා ෂර්මා නිරන්තරයෙන්ම සමාජ මාධ්‍යයෙන් පුවත් මවන්නියක වී ඇත්තේ ඇයගේ නෙත් සිත් වසග කරන රූ සපුව නිසා යැයි කිවහොත් වරදක් නැත. ඇය ඉන්දියානු නිළියක් සහ නිරූපිකාවක් වන්නේ එක් රැයකින් නම් නොවේ.

වසරකට චිත්‍රපට 700 ත්- 800ත් අතර නිපදවෙන බොලිවුඩ් සිනමාවේ චිත්‍රපටයකට තේරී පත් වීම ඉතාම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. ඇයට ද එසේම විය.

නේහා උපත ලබන්නේ 1987 නොවැම්බර් මස 21 වැනි දා ඉන්දියාවේ බිහාර්පූර්හිදීය. දැනට 34 වැනි වියේ පසුවන ඇය මුලින්ම සිනමාවට අත් පොත් තබන්නේ තෙළිගු සිනමාවෙනි. ඒ 2007 වසරේදීය.

නේහා ගේ පළමු රඟන භූමිකාව ප්‍රේක්ෂකයා හට දැක බලා ගැනීමට හැකි වන්නේ 2007 සැප්තැම්බර් 28 වැනි දින තිරගත වූ චිරුතා නම් තෙළිඟු‍ චිත්‍රපටය හරහා යි. ඇය එහිදී එහිදී රාම් චරන් සමගින් රංගනයේ යෙදුණු අතර එහි රංගනයෙන් ඇයට තෙළිගු සිනමාව ඇතුළු ඒරට දැන්වීම් නිරූපණයේ අවස්ථා රැසක් ගලා එන්නට විය.

මුලින් නිරූපණ ක්ෂේත්‍රයේ නමක් දිනා ගත් නේහා භගල්පූර් හි මවුන්ට් කර්මෙල් පාසලට ඇතුළත්ව මූලික අධ්‍යපනය හැදෑරූ තැනැත්තියක වන අතරම නවදිල්ලියේ පිහිටි විලාසිතා තාක්ෂණවේදය පිළිබද ජාතික ආයතනයේ විලාසිතා නිර්මාණ පිළිබඳ පාඨමාලාවක් ද හදාරා තිබීම ඇයට එම ක්ෂේත්‍රයෙන් ඉදිරියට ඒමට තල්ලු‍ වූ වක් වූ බවද නොරහසකි.

ඇයගේ මන බදනා රූ සපුවත්, නිරූපණ ක්ෂේත්‍රයේ පරිණතභාවය හේතුවෙන් බොලිවුඞ් සිනමාවට පය තැබීමට මත්තෙන් සිද්ධාර්ත් මල්හෝත්‍රා වැනි නව පරපුරේ ජනප්‍රිය නළුවන් සමග වෙළද දැන්වීම්, ගීතමය රූප රචනාවන්ට නැතිවම බැරි චරිතයක් වූවාය.

නේහා ෂර්මා ගේ පවුලේ පසුබිම ගැන සොයා බැලු‍වහොත් ඇය දේශපාලන පවුලකින් පැවත එන්නියක වේ. ඇයගේ පියා වන අජිත් ෂර්මා ව්‍යාපාරිකයෙක් මෙන්ම දේශපාලනඥයෙකි. ඔහු ඉන්දියානු කොන්ග්‍රස් පක්ෂය නියෝජනය කරන භාගල්පූර් හි මන්ත්‍රීවරයෙකි. නේහාට සහෝදර සහෝදරියෝ තිදෙනෙක් ද සිටිති.

නේහා විවිධ මැතිවරණවලදී තම පියා වෙනුවෙන් දේශපාලන වේදිකාවේ ප්‍රචාරණ කටයුතු වලද නිරත තැනැත්තියක වේ. නේහි සිය ළමා කාලයේ දැඩි ලෙස ඇදුම රෝගයෙන් පෙළුණු තැනැත්තියක බවත්, නිරෝගීව හා ශාරීරිකව දුර්වල ව සිටි දැරියක් බව ඇය කියා සිටින්නීය.

නමුත් හයිද්‍රාබාද්හි පවුලක ආශිර්වාදය ඇතිව ඇදුම රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුව වන බව ඇය පෙන්වා දෙන්නීය. ආහාර පිසීම, සංගීතයට සවන් දීම, කියවීම සහ නර්තනය විනෝදාංශ කර ගත් නේහා ඉන්දියානු සම්භාව්‍ය නර්තන විශේෂයක් වන කතක් නර්තන ශෛලිය ද හදාරනු ලබන්නියක ද වේ.

ඊට අමතරව ඇය ලන්ඩනයේ පයිනැපල් ඩාන්ස් ස්ටූඩියෝ ඇකඩමිය මගින් වීදි හිප් හොප්, ලතින් නැටුම්-සල්සා, මෝර්න්ගු, ජිව් සහ ජෑස් වැනි නර්තන ශෛලියන් ද හදාරා ඇති දක්ෂ රංගන ශිල්පිනියකි.

නේහා විසින් කේට් මොස් ඇගේ විලාසිතාවේ පූර්වාදර්ශය ලෙස සලකයි. ඒ වගේම නේහා තමන්ගේම ඇඳුම් ලේබලයක් දියත් කිරීමේ අභිලාෂයෙන් පසුවන්නීය.

ඇගේ පළමු හින්දි චිත්‍රපටය වූයේ මෝහිත් සූරි විසින් අධ්‍යක්ෂණය කරන ලද Crook චිත්‍රපටයයි. එය 2010 ඔක්තෝබර් 8 වන දින නිකුත් කරනු ලැබීය.

කුනාල් කෝලි විසින් අධ්‍යක්ෂණය කරන ලද ටෙරී මේරි කහානි නම් 2012 නිකුත් වූ ආදර/ප්‍රහසන චිත්‍රපටයේ ද ආරාධිත රංගනයක් සඳහා ද ඇය පෙනී සිටිනු ලැබුවාය.

කොවිඩ් වසංගත හමුවේ බොලිවුඩ් සිනමාවේ නිෂ්පාදන අඩු වී ඇති අවස්ථාවක නේහා සිය ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඇයගේ සරාගී රූප ප්‍රසිද්ධියට පත් කරමින් සිටින්නීය.

ඒ නිසාම ඇය වත්මන් තරුණ සිනමා ලෝලීන් මෙන්ම අන්තර්ජාලය ද කළඹන්නියක ලෙස ප්‍රසිද්ධ වී හමාරය. ඇයගේ රසික රසිකාවියන්වී ඇති බොහෝ දෙනෙකු බොලිවුඩයේම ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරුන් වීම විශේෂත්වයකි.

සටහන - තිළිණි ද සිල්වා
(හින්දුස්තානී ටයිම්ස්)

 


RECOMMEND POSTS