පේලේගේ සමුගැනීම



උදරයේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි සුපිරි බ්‍රසීල පා පන්දු තරුව, පේලේ අද (30) අභාවප්‍රාප්ත විය. පේලේගේ වයස අවුරුදු 82 කි.

පසුගිය නොවැම්බර් 29 වැනිදා සිට පේලේ බ්‍රසීලයේ සාඕපාවුලෝ නගරයේ ඇල්බට් අයින්ස්ටයින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

පේලේ මියගියේ වකුගඩු ඇතුළු ඉන්ද්‍රීයයන් කීපයක් අඩපණ වීමෙන් යැයි වෛද්‍යවරු පැවැසූහ. පේලේගේ පවුලේ සාමාජිකයන් ඔහු අසල සිටි බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

බ්‍රසීලයට තෙවරක් පා පන්දු ලෝක කුසලානය අත්කර දීමට පේලේ සමත් වූ අතර, එය ලෝක වාර්තාවක් ද වෙයි.

ජගත් පා පන්දු සම්මේලනය විසින් 2000 වසරේ දී 'පේලේ' සියවසේ ක්‍රිඩකයා ලෙස ද නම් කරනු ලැබීය.

සිය වසර 21ක වෘත්තීය පා පන්දු දිවිය තුළ පේලේ තරඟ 1,363 ක දී ගෝල 1,281ක් රැස් කර ඇති අතරෙ, එය පා පන්දු ක්‍රීඩකයෙකු රැස් කළ වැඩි ම ගෝල සංඛ්‍යාව ද වෙයි.

හිටපු ආජන්ටීනියානු සුපිරි පා පන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හා සම තැනක පාපන්දු වංශ කතාව තුළ පේලේ ආදරයෙන් සහ ගෞරවයෙන් සිහිපත් කෙරේ.

මේ අතර, බ්‍රසීල ජනාධිපතිවරයා ලෙස යළිත් වරක් දිවුරුම් දීමට සූදානමින් සිටින ලූලා ද සිල්වා, අමරණීය පාපන්දු තරුව පේලේ වෙනුවෙන් සොව පළ කළේය.

ලූලා ද සිල්වා බ්‍රසීල ජනාධිපති ලෙස හෙට (31) දිනයේ දිවුරුම් දීමට නියමිතව සිටී.

‘අංක 10 න් ක්‍රීඩා කළ පේලේ සැබැවින්ම අපූරු ක්‍රීඩකයෙක්. අපූරු මිනිසෙක්. ඔහුට සමාන කළ හැකි තවත් කෙනකු නැහැ. එවැනි කෙනෙකු ලොව බිහි වන්නේත් නැහැ. බ්‍රසීල නාමය ලොව බැබලුණේ පේලේ නිසයි. පේලේ, ඔබට ස්තුතියි’ යැයි පේලේගේ අභාවය වෙනුවෙන් සොව පළ කරමින් ලූලා ද සිල්වා පවසා තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS