පර්වේස් මුෂාරෆ් සමුගනී



පාකිස්තානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් ඩුබායි නුවර රෝහලකදී අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 79 කි.

පසුගිය වසර ගණනාව පුරා, මුෂාරෆ් රෝගාතුරුව සිටියේ රෝද පුටුවකට සීමා වෙමිනි. ඔහු සිරුරේ ඉන්ද්‍රියයන් අක්‍රියවීමේ ‘ඇමිලොයිඩෝසිස්’ නමැති දුර්ලභ රෝගයෙන් පීඩා වින්දේය.

හමුදාපති ලෙස කටයුතු කරමින් සිටි මුෂාරෆ්, කුමන්ත්‍රණය කරමින්, පාකිස්තානයේ බලය අල්ලා ගත්තේ 1999 වසරේදීය. ඉන්පසු 2001 වසරේ සිට 2008 දක්වා පාකිස්තාන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

1999 වසරේ මුෂාරෆ් හමුදාපති ධුරයේ සිටිද්දී අග්‍රාමාත්‍ය ධුරය හෙබවූයේ නවාස් ෂරීෆ්ය. මුෂාරෆ් සහ නවාස් ෂරීෆ් අතර මත ගැටුම් පැවැතිණි.

හමුදාපති ලෙස මුෂාරෆ් ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ ආපසු යද්දී, අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්, මුෂාරෆ්ගේ විශේෂ ගුවන් යානයට පාකිස්තානයට ගොඩබෑමට අවසර දුන්නේ නැත. අග්‍රාමාත්‍ය ෂරීෆ්, උත්සාහ ගත්තේ හමුදාපති ධුරයෙන් ද මුෂාරෆ් නෙරපීමටය.

කෙසේ නමුත්, හමුදාවේ සහාය මුෂාරෆ්ට හිමිවුණු අතර ඔහු ගුවන් යානයේ සිට සොල්දාදුවන් මෙහෙයවමින් අග්‍රාමාත්‍ය ෂරීෆ් ඉවත් කර, හමුදා කුමන්ත්‍රණයකින් රටේ බලය අල්ලා ගත්තේය. ඒ, කිසිදු ලේ වැගිරීමකින් තොරවය.

පාකිස්තාන ජනාධිපතිවරයා ලෙස මුෂාරෆ්, එරට ජනතාව වෙනුවෙන් කැපවී සේවය කළේය. ඇත්‍්ගනිස්තාන ආක්‍රමණය කරමින් ආරම්භ වුණු ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඇමෙරිකාවට, මුෂාරෆ්ගේ සහාය නොඅඩුව හිමිවිය.

2008 දී මුෂාරෆ්ට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට දේශපාලන කණ්ඩායම් කටයුතු කළේය. මුෂාරෆ් ධුරයෙන් ඉවත් වූයේ ඊට මුහුණ දීමට පෙරය. ඉන්පසු සිවිල් වැසියකු ලෙස 2010 වසරේ මහ මැතිවරණයකට නව පක්ෂයකින් ඉදිරිපත් වුවත්, ජයග්‍රහණයක් හිමිවූයේ නැත.

පාකිස්තාන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයක් මගින් 2019 වසරේ දෙසැම්බර් මස 17 වැනිදා මුෂාරෆ්ට මරණ දඬුවම නියම කෙරුණි. ඒ, 2007 වසරේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අත්හිටුවා රට තුළ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ චෝදනාවලට වරදකරු කරමිනි.

2016 දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුෂාරෆ් ට විදේශ ගතවීමට අධිකරණයෙන් අවසර හිමිවිය. ඉන්පසු මුෂාරෆ්, සිය කැමැත්තෙන්ම පාකිස්තානයෙන් පිටුවහල් වී මියයනතුරු ඩුබායි හි රැඳී සිටියේය.

(බීබීසී)


RECOMMEND POSTS