ෆින්ලන්ත අගමැතිනිය උදේ කෑම මුදල් ආපසු දෙයි



වසර 1 1/2 කට පෙර, තමන් අග්‍රාමාත්‍ය ධුරය බාරගෙන, අග්‍රාමාත්‍ය නිල නිවසේ පදිංචියට ආ දිනයේ පටන්, උදෑසන ආහාර වෙනුවෙන් වැය කළ සියලුම මුදල් රජයට ලබා දෙන බව ෆින්ලන්ත අග්‍රාමාත්‍ය සන්නා මරීන් පවසා තිබේ.

35 හැවිරිදි අග්‍රාමාත්‍යවරිය මෙසේ පැවැසුවේ, ඇය පවුලේ සාමාජිකයන් සමඟ ජනතා බදු මුදලින් මාසයක කාලයක් උදෑසන ආහාර ලබා ගත්තැයි එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමිනි.

අග්‍රාමාත්‍ය සන්නා මරීන්, ජනතා බදු මුදල් උදෑසන ආහාරය සඳහා භාවිතයට ගත්තැයි අනාවරණය කළේ 'එැල්ටෝලැටි' නමැති ෆින්ලන්ත ටැබ්ලොයිඩ් සඟරාවය. එම අනාවරණයත් සමඟ පොලිසිය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද ආරම්භ වී තිබේ. තමන් කිසිදු වරදක් නොකළ බවත්, අග්‍රාමාත්‍ය බලතල අවභාවිතයට ලක් නොකළ බවත් අග්‍රාමාත්‍යවරිය එම අවස්ථාවේදී සහතික වූවාය.

ෆින්ලන්ත අග්‍රාමාත්‍යවරයාට ආහාර වෙනුවෙන් විශේෂ දීමනාවක් හිමි නොවන නමුත්, නිල නිවසේ (කෙසරෙන්ටා මන්දිරයේ) පදිංචියට පැමිණෙන රාජ්‍ය නායකයන්ට ආහාර පාන ලබා දීම රජයේ වියදමින් සිදුවෙයි. තමන්ට පෙර අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කළ අග්‍රාමාත්‍යවරුන්ට එසේ උදෑසන ආහාරය අග්‍රාමාත්‍ය නිල නිවසින් ලැබුණු බව සන්නා මරීන් පෙන්වා දී ඇත.

අග්‍රාමාත්‍යවරියගේ උදෑසන ආහාර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වෙද්දී, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලින් ද අග්‍රාමාත්‍යවරියට දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් චෝදනා කරන්න වූ අතර එම චෝදනා මේ වනවිට ජනතා අප්‍රසාදයක් තෙක් දුරදිග ගොස් ඇතැයි පැවැසෙයි.

“මා වරදක් කරලා නැහැ. ඒත් ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. ඒ ගැන සොයා බැලීමක් කළ යුතුයි. පොලිසිය විමර්ශනයක් පවත්වනවා. මාගේ සහයෝගය ඊට ලැබෙනවා. කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයාගේ ආහාර දීමනාව සම්බන්ධයෙන් පවතින නීති රෙගුලාසි අධ්‍යයනය කළ යුතු වෙනවා. එය එසේ සිදුවේවි. ඒ අතරතුරේ, අග්‍රාමාත්‍යවරිය ලෙස මට කරන්න රාජකාරි බොහොමයි. උදේ ආහාරය සඳහා වැයවුණු වියදම් ගැන වද වෙන්න වෙලාවක් මට නැහැ. ඒ නිසා මා තීරණය කළා මා අග්‍රාමාත්‍ය නිල නිවසේ පදිංචියට ආ දිනයේ පටන් උදේ ආහාරය වෙනුවෙන් වැය කළ යූරෝ 14,000 ක මුදල රජයට ලබා දෙන්න.” යැයි අග්‍රාමාත්‍යවරිය මාධ්‍ය හමුවේ සිය ස්ථාවරය පැහැදිලි කළාය. සන්නා මරීන්, ෆින්ලන්ත අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ වසර 1 1/2 කට පෙරය.

“මා වරදක් නොකළ බව තහවුරු වී, අග්‍රාමාත්‍යවරයාට ආහාර දීමනාවක් ලැබිය යුතු බව තහවුරු වුවත්, මින් ඉදිරියට මා එම ආහාර දීමනාව ලබා ගන්නේ නැහැ.” යැයි ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. 'එැල්ටෝලැටි' සඟරාව පසුගිය 28 වැනිදා චෝදනා කර තිබුණේ අගමැතිනිය මාසයක කාලයක් උදෑසන ආහාර සඳහා ජනතා බදු මුදල් වියදම් කර ඇති බවත් එම මුදල යූරෝ 300 (රුපියල් 72,431 ක් පමණ) ක් බවත්ය.

ෆින්ලන්ත නීති විශාරදයන් පෙන්වා දෙන්නේ රටේ අග්‍රාමාත්‍යවරයාගේ ආහාර දීමනා සම්බන්ධයෙන් ඇති රෙගුලාසි පුළුල් ලෙස අධ්‍යයනය කළ යුතු බවය. කෙසේ නමුත්, අග්‍රාමාත්‍ය සන්නා මරීන් බදු ගෙවන්නන්ගේ මුදල් ආහාර සඳහා වැය කර ඇති නම් එය සම්පූර්ණයෙන් නීතිවිරෝධී ක්‍රියාවක් බවත් බරපතල වරදක් බවත් ඔවුහු පෙන්වා දෙති.

අග්‍රාමාත්‍යවරිය වරදක් කර ඇතැයි අධිකරණය හමුවේ තහවුරු වුවහොත්, අගමැතිනියට මෙම මුදල යළි ගෙවීම අනිවාර්යය වන බවත්, ඇයට නියම වන දඩුවම නඩු විභාගයේදී තීරණය වනු ඇති බවත් නීති විශාරදයන් මීට පෙර පසුගිය සති අන්තයේ පෙන්වා දී තිබුණි.

සන්නා මරීන් නියෝජනය කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2019 දෙසැම්බරයේය. මරීන් විවාහ වූයේ 2020 දීය. ඇයට සිඟිති දියණියක ද සිටී. පක්ෂ නායකත්වය හිමිකර ගනිමින්, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට පෙර, ප්‍රවාහන සහ ජන සන්නිවේදන ඇමැතිවරිය ලෙස කටයුතු කළාය.

හෙල්සින්කී නුවරදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS