’ලොකු අයියා’ වෙනුවෙන් කෝටි 2ක්



රජිනිකාන්ත්ගේ 'අනන්තේ' (ලොකු අයියා) චිත්‍රපටය තිරගතවීම් ආරම්භ කළේ පසුගිය දීවාලි සැමරුමත් සමඟය. විචාරකයන්ගේ පැසැසුමට ලක් නොවුණත්, එය මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 200 සීමාව පසු කරමින් බොක්ස් ඔෆිස් චිත්‍රපටයක් බවට පත් වී තිබේ. 'අනන්තේ' කෝටි 200 සීමාව පසු කළේ සිනමාහල්වල තිරගතවීම් අරඹා දින 10 ක් යද්දීය.


'අනන්තේ' නළු නිළි කැළ කිර්ති සුරේෂ්, සුපර්ස්ටාර් රජිනිකාන්ත් සහ නයනතාරා

'කොවිඩ් 19' දෙවැනි රැල්ලෙන් පසු ඉන්දියාව කලඹමින් සිනමාවල්වල තිරගත වීම් ආරම්භ වුණු එක් ප්‍රධාන පෙළේ දෙමළ චිත්‍රපටයක් ලෙස 'අනන්තේ' හඳුන්වා දිය හැකිය. චිත්‍රපටයේ කතාව ගෙතෙන්නේ සොහොයුරකු සහ සොහොයුරියක පාදක කර ගනිමිනි.

චිත්‍රපටයේ 'කාලයියාන්' සොහොයුරාගේ චරිතයට රංගනයෙන් දායක වන අතර සොහොයුරිය 'මීනක්ෂි'ගේ චරිතයට පණ පොවන්නේ කිර්ති සුරේෂ් ය. චිත්‍රපටය ෂිවාගේ අධ්‍යක්ෂණයකි. ෂිවාගේ සිනමා නිර්මාණයකට රජිනිකාන්ත් සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙයයි.

'අනන්තේ' වෙනුවෙන් 29 හැවිරිදි කිර්ති සුරේෂ් ට ඉන්දීය රුපියල් කෝටි දෙකක් ලබා ගෙන ඇත. කිර්ති සුරේෂ් කෝටි දෙකක් මුදලක් සිනමා නිර්මාණයකට ලබාගත් පළමු අවස්ථාව ද මෙය යැයි මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, චිත්‍රපට සඳහා කෝටි 2 කට වඩා වැඩි මුදලක් ලබා ගන්නා ඉන්දීය නළු නිළියන් අතරට අලුතින්ම එක්වන රංගන ශිල්පිනිය වන්නේ ද ඇයයි.

2018 වසරේ තිරගත වුණු 'මහානධී' දමිළ චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් කිර්ති සුරේෂ් හොඳම නිළිය සඳහා ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තාය. 'මහානධී' චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් ඇය විචාරකයන් බොහෝ දෙනකුගේ ද පැසැසුමට ලක් වූවාය. ඒ සමඟම ඇයට සිනමා නිර්මාණ කීපයකට එක දිගට දායක වීමට සිදුවිය. 'අනන්තේ' යනු එයින් එක් නිර්මාණයකි.

කිර්ති සුරේෂ්ගේ මව දෙමළ නිළියක වන මේනකා ය. 1981 වසරේ තිරගත වුණු 'නෙට්‍රිකාන්' චිත්‍රපටයේ ඇය රංගනයෙන් එක් වූයේ රජිනිකාන්ත් සමඟය. කිර්ති සුරේෂ් සහ රජිනිකාන්ත් චිත්‍රපයකට එක් වුණු පළමු අවස්ථාව මෙයයි. 70 හැවිරිදි වුවත් සුපිරි නළු රජිනිකාන්ත් රංගනයට දක්වන සුවිශේෂී හැකියාව ගැන තමන්ට පුදුමයි යැයි කිර්ති පවසා තිබේ.

කිර්ති උපන්නේ 1992 ඔක්තෝබර් 17 වැනිදාය. ඇය දෙමළ, තෙලිඟු සහ මලයාලම් සිනමා නිළියක ලෙස ප්‍රකටය. කිර්ති සුරේෂ් ඉන්දීය සිනමා උළෙල කීපයකින් සම්මාන හිමිකරගෙන ඇත. කිර්ති සුරේෂ්ගේ පියා මලයාලම් සිනමා අධ්‍යක්ෂවරයකු වන ජී. සුරේෂ් කුමාර්ය.‍

කිර්ති රංගනයට පිවිසියේ ළමා නිළියක ලෙසය. ඒ, 2000 දශකය ආරම්භයේදීය. ඇය පළමුවරට ප්‍රධාන චරිතයක් නිරූපණය කළේ 2013 වසරේ තිරගත වුණු 'ගීතාංජලී' Geethaanjali. මලයාලම් චිත්‍රපටය හරහාය. Ring Master (2014), Idhu Enna Maayam (2015), Rajini Murugan (2016), Remo (2016), Nenu Sailaja (2016), Bairavaa (2017), Nenu Local (2017), Thaana Serndha Kootam (2018), Mahanati (2018), Sarkar (2018), Penguin (2020), Miss India (2020) සහ Rang De (2021) කිර්ති සුරේෂ්ගේ සෙසු සිනමා නිර්මාණය.

(ඉන්දියා ටුඩේ)


RECOMMEND POSTS