සිංහල සිනමාවේ කිවිඳිය සමුගනී



සිංහල සිනමාවේ කිවිඳිය යන විරුදාවලිය ලත්, ප්‍රවීණ සිනමාවේදිනී ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඇය 88 වැනි වියෙහි පසුවූවාය.

ලෝක පූජිත සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ බිරිය වූ සුමිත්‍රා පීරිස් මහත්මිය මෙරට සිනමාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කළ අධ්‍යක්‍ෂවරිය ද වන්නීය.

එමෙන්ම රංගන ශිල්පිනියක් නොවී සිනමා අධ්‍යක්‍ෂවරියක වූ පළමු ශ්‍රී ලාංකීය කාන්තාව මෙන්ම මෙරට පළමු චිත්‍රපට සංස්කාරකවරිය හා සහය අධ්‍යක්‍ෂිකාව වන්නේ ද ඇයය.

ආචාර්ය ලෙස්ටර් සූරීන්ගේ ”සංදේශය” චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂිකාව ලෙසින් 1960 වසරේ දී සිනමා නිර්මාණකරණයට පිවිසි ඇය ඉන්පසු සංස්කාරවරියක් ලෙසින් “ගම්පෙරළිය”, “දෙලොවක් අතර”, “රන්සළු”, “අක්කර පහ”, “ගොළු හදවත” සහ “බක්මහ දීගේ” ආදී චිත්‍රපටවලට සම්බන්ධ වූවාය.

“ගැහැණු ළමයි” චිත්‍රපටයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසි සුමිත්‍රා පීරිස් මහත්මිය ඉන් අනතුරුව “ගඟ අද්දර”, “යහලු යෙහෙලි”, “මායා”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “ලොකු දුව”, “දුවට මවක මිස”, “සක්මන් මළුව”, “යහලුවෝ”, “වෛෂ්ණාවී” ආදී චිත්‍රපට රැසක් අධ්‍යක්‍ෂණය කළාය.

අනතුරුව ඇය “ගැහැණු ළමයි” ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරමින් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂණයට ද පිවිසියාය.

ඇය සරසවිය, ජනාධිපති සම්මාන, සිග්නීස් සහ විචාරක ආදී සිනමා උළෙලවලදී ඇය සම්මාන රැසකගෙන් පිදුම් ලැබුවාය.

ලන්ඩන් චිත්‍රපට උලෙළ, ටෝකියෝ දකුණු ආසියා හා ජාත්‍යන්තර සිනමා උලෙළ, මොස්කව් ජාත්‍යන්තර සිනමා උලෙළ ආදී ජාත්‍යන්තර සිනමා උළෙලවලදී ද ඇය අධ්‍යක්‍ෂණය කළ “ගැහැණු ළමයි”, “ගඟ අද්දර”, “යහලු යෙහෙළි”, “සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා”, “ලොකු දුව” ආදී චිත්‍රපට ඇගයීමට ලක්විය.

සුමිත්‍රා පීරිස් මහත්මිය 1990 දශකයේ අගභාගයේ දී ප්‍රංශයේ තානාපති ධුරය ද හෙබවූවාය.

ජපාන අධිරාජ්‍යයා විසින් පිරිනමන ‘ද ඕඩර් ඔෆ් රයිසින් සන්’ සම්මාන අංශයේ ‘ගෝල්ඩ් ඇන්ඩ් සිල්වා’ රේස් කාණ්ඩය යටතේ පිරිනැමෙන පදක්කමද සුමිත්‍රා පිරීස් මහත්මියට හිමි වූ අතර, ජපානය සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සහයෝගිතාවය වර්ධනය කරගැනිමට කළ සේවය අගයමින් මෙම පදක්කම ඇය වෙත පිරිනැමිණි.

ශ්‍රී ලාංකීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් ඉටුකළ අප්‍රමාණ මෙහෙවර අගයමින් පසුගිය වසරේ පැවති කැලණි විශ්ව විද්‍යාලයේ 121 වැනි උපාධි ප්‍රදානෝත්සවයේදී ඇය වෙත ‘සාහිත්‍ය චක්‍රවර්ති ගෞරව උපාධිය’ ද පිරිනමනු ලැබිණි.

මෙය කැලණිය සරසවිය මගින් සිනමාව වෙනුවෙන් ආචාර්ය උපාධියක් පිරිනැමූ පළමු අවස්ථාව ද විය.

සුමිත්‍රා පීරිස් මහත්මියගේ පියා බොරලුගොඩ පරම්පරාවෙන් පැවත එන නීතිඥ හෙන්රි ගුණවර්ධන මහතා වන අතර, මාක්ස්වාදයේ පියා සේ සැලකෙන පිලිප් ගුණවර්ධන, වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ තවත පුරොගාමියකු වූ රොබට් ගුණවර්ධන ඇගේ බාප්පලාය.

ඇයට වයස අවුරුදු 14 දී ඇගේ මව මිය ගොස් ඇත.

ඇය ලන්ඩන් චිත්‍රපට තාක්ෂණ පාසලෙන් චිත්‍රපට නිර්මාණකරණය හැදෑරූ අර චිත්‍රපට අධ්‍යක්ෂණය සහ නිෂ්පාදනය පිළිබඳ ඩිප්ලෝමාවක් ද ලබා ඇත.

එකල එහි මේ විෂය හදාරමින් සිටි එකම කාන්තාව ද වූ ඇය පසුව ශ්‍රී ලංකාවට පැමිණ සිනමාකරණයට පිවිසියාය.

ඇය අවිස්සාවේල්ල ශාන්ත මේරි විද්‍යාලයේ සහ කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි.  ඇගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

(ඩයනා උදයංගනී)


RECOMMEND POSTS