සවි එසවීමේ ශූරිය ශෙනුකි



කාන්තාව යනු ලාමක, ශක්තිය අඩු, තනිව තීරණ ගැනීමට නොහැකි පිරිසක් ලෙසින් සැලකුණ යුගය මේ වන විට නිමාවෙමින් පවතින්නේ තමාට ද පිරිමින් මෙන්ම බොහෝ දේ තුළින් ඉදිරියටම යා හැකි බව කාන්තාවන් දිනෙන් දිනම ඔප්පු කර පෙන්වන වටපිටාවක් තුළය.

මේ සටහන කාන්තාව ඕනෑම අංශයකින් දස්කම් දක්වන්නට සමත් බව ඔප්පු කර පෙන්වූ ශ්‍රී ලාංකීය යෞවනියක් පිළිබඳවය. තුර්කියේ දී පසුගියදා පැවති ආසියානු සවි එසවීමේ ශූරතාවලිය අවසන් වූයේ ද ශ්‍රී ලංකාවට රන් පදක්කම් 14ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 2ක් හිමිකරදෙමිනි. එම පදක්කම් දිනාගත් පිරිස අතර සිටි එකම කාන්තාව වූයේ ශෙනුකි දිශාල්‍යා නැමති මෙම රුවැත්තියයි.

රන් පදක්කම් 4ක් සමගින් කිලෝ ග්‍රෑම් 47 බරපන්තියේ සමස්ත ශූරතාවය දිනා ගැනීමට ද 19 හැවිරිදි ශෙනුකි දිශාල්‍යා මෙහිදී සමත් වූවාය. 2021 ජාතික සවි එසවීමේ ශූරතාවලියේදීද නව ජාතික වාර්තා දෙකක් සමඟින් ජාතික ශූරිය වූ ශෙනුකි ආසියානු ශූරතාවලියේදී තමන් විසින්ම පිහිටුවා තිබූ ශ්‍රී ලංකා ජාතික වාර්තාව ද බිඳ හෙලුවාය.

එමෙන්ම ඇය ජිම්නාස්ටික්, කිමිදුම් (ඩයිවින්) ආදී ක්‍රීඩාවලින් ද ජාතික මට්ටමේ දස්කම් දක්වා ඇති අතර, මෙරට එකිනෙකට වෙනස් ක්‍රීඩා තුනකින් ජාතික මට්ටමේ පදක්කම් දිනූ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස ද ඇය වාර්තා පොතට එක්ව සිටී.

ශෙනුකි කොළඹ බිෂොප් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් වන අතර ශෙනුකිගේ මව වන ක්‍රිෂාන්ති කුලසූරිය මාධ්‍යවේදිනියක් මෙන්ම ලේඛිකාවක ද වන්නීය. ඇගේ පියා වන අනූෂ සංජීව චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. ශෙනුකිගේ වැඩිමහල් සොයුරිය විද්‍යා ගවේෂිකාවක් වන අතර සෙහොයුරා පාසල් අධ්‍යාපනය ලබයි.

“අපේ රටේ තාමත් ගැහැනු ළමයෙක් දිහා බලන්නේ කුස්සියට කොටු කරලයි. මේ ක්‍රීඩාවේදීත් බොහෝ දෙනෙක් කෙල්ලෙක් මෙච්චර බරක් උස්සන්නේ කොහොමද කියල පුදුම වෙනවා. සාමාන්‍යයෙන් මේ ක්‍රීඩාව පිරිමි අයගේ ක්‍රීඩාවක් විදියට තමයි ගොඩක් අය දන්නේ. මෙයට කාන්තාවන් නැඹුරු වෙනවා ගොඩක් අඩුයි. ඉතින් මට හිතුණා කාන්තාවක් විදියට සමාජය හිතනවට වඩා වැඩි බරක් මට උස්සන්න පුළුවන් කියලා. මට අවශ්‍ය වුණේ මගේ ශක්තියෙන් රටට ජයග්‍රහණයක් ලබාදෙන්නයි. මම ඒ දේ කළා.” අප හා කතාබහකට එක්වෙමින් ශෙනුකි පැවසුවාය.

ශෙනුකි ජිම්නාස්ටික් ක්‍රීඩාවට එක්වන්නේ වයස අවුරුදු 4ක කුඩා දැරියකට සිටියදීය. එම ක්‍රීඩාවෙන් ඉදිරියටම යන ශෙනුකි අනතුරුව කිමිදුම් ක්‍රීඩාවට යොමු වන්නීය. මේ වන විට ඇය වැඩි කාලයක් වැය කර ඇත්තේ සවි එසවීමේ ක්‍රීඩාව වෙනුවෙනි. ශෙනුකි ජිම්නාස්ටික්, කිමිදුම් වැනි ක්‍රීඩා අත්හැර සවි එසවීමට යොමුවූයේ ඇයිදැයි මා නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය කීවේ මෙවැන්නකි.


“අනිත් ළමයින්ට වගේ සුන්දර ළමා කාලයක් මට තිබුණෙ නැති තරම්. උදෙන්ම පාසල් යනවා. ඊට පසු පුහුණුවීම් කරනවා. ගෙදර එද්දී අත් නිල් වෙලා. අම්මා මාව ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් වෙත කුඩා කාලයේදීම යොමු කර තිබුණේ කුඩා කල සිට මගේ ශරීරයේ තිබූ නම්‍යශීලීත්වය, ඉහළ ස්ථානවල සිට බිමට පැනීම ආදිය කළ නිසා බව ඇය කියා තිබෙනවා. ගෙදරදි එහෙම කරද්දී තුවාල වෙයි වැටෙයි කියන බයට තමයි අම්මා මා ඒ අංශයට යොමුකර තිබෙන්නේ. ඉන්පසු මම අවුරුදු 14 දී ජිම්නාස්ටික් කරන ගමන්ම කිමිදුම්වලට යොමුවුණා. පටන්ගත්තා. පසුව යම් යම් සිත් රිදීම් නිසා මම මේ ක්‍රීඩා දෙකෙන්ම ඈත් වුණා. ඒත් කාලයක් ක්‍රීඩාවේ යෙදී සිටි නිසා මට ශරීර සුවතාව පවත්වාගැනීමට ව්‍යායාම ආදිය අවශ්‍ය වුණා. ඒ නිසා ක්‍රීඩා සමාජයකට සම්බන්ධ වුණා. මට සවි එසවීම ගැන උනන්දුවක් ඇතිවුණේ එහිදීයි. මුලින්ම මම මෙය කර බැලුවේ මගේ ශක්තිය ගැන අවබෝධයක් ගන්නයි. ඒත් මට එහිදී හමුවූ මෙරට සවි එසවීමේ ප්‍රවීණයෙක් වන රන්සිළු ජයතිලක මහතා මා මෙම ක්‍රීඩාවට උනන්දු කළා. ඒ අනුව 2019 දී එයට යොමුවී වසර දෙකක් ඇතුළත ජාතික ශූරිය වී ආසියානු රන් පදක්කම් හතරක් දිනාගන්න හැකිවීම ගැන මා ඉතා සතුටු වෙනවා.”

මලක් වන රුවැති දියණියක දෙමාපියන්ට ආඩම්බරයකි. විශේෂයෙන්ම මවක් බොහෝ විට දියණියන්ගේ පෙනුම ගැන උනන්දුය. සවි එසවීම වැනි ක්‍රීඩාවකට යොමුවන විට ශෙනුකිට දෙමාපියන්ගේ කැමැත්ත හිමිවීම ද පුදුමයකි.

“මුලදී මම මේ ක්‍රීඩාවට එනවට අම්මත් බය වුණා. ඇය සිතුවේ මගේ ශරීරය මේ නිසා වෙනස් වෙයි කියලයි. පසුව මම මේ ක්‍රීඩාවේ යෙදී ඉන්න සුන්දර ක්‍රීඩිකාවන්ගේ ඡායාරූප පෙන්වල තමයි අම්මා කැමති කරගත්තේ. දැන් මේ සඳහා මට වැඩිපුරම උදව් කරන්නේ මගේ අම්මායි. ඇත්තටම මේ ක්‍රීඩාවෙන් අපේ ශරීරයේ හැඩයට බලපෑමක් වෙන්නේ නැහැ. මස්පිඬු වර්ධනය වුණොත් කාන්තා ලාලිත්‍යය අහිමි වෙයි කියන බිය නිසා බොහෝ දෙනෙක් මෙවැනි ක්‍රීඩාවකට බිය වුණත් මම නම් කියන්නේ එහෙම බියවෙන්න අවශ්‍ය නැහැ කියලයි.”

තමන්ට අවශ්‍ය වූයේ වැඩි දෙනෙකු යොමු නොවන ක්‍රීඩාවක් තුළින් රටට කීර්තියක් ගෙනඒමට හා තවත් අයට ආදර්ශයක් ලබාදීම බව ශෙනුකි පවසයි. ඒ වෙනුවෙන් තමන් කැපවූ බවත්, විශේෂයෙන්ම ශරීර බර පාලනය කරගනිමින් ශක්තිය වඩවාගැනීම සඳහා ආහාර පාලනය කරමින් නිසි පෝෂණය ලබාගැනීම සඳහා මව ලබාදෙන සහයෝගය විශේෂයෙන් සිහිපත් කළ යුතු බව ඇය කීවාය.

“ලෝකය දිනපු ගොඩක් අය එතැනට ඇවිත් තියෙන්නේ කැපකිරීම් කරලා. මමත් ඒ තැනට යනවා. මට අවශ්‍ය වුණේ ආසියානු ශූරතාවලියේදී හොඳ තරඟයක් දී මා වඩාත් දස්කම් දක්වන ඩෙඩ් ලිෆ්ටින් අංශයේ රන් පදක්කම ලබාගන්නයි. ඒත් මට රන් පදක්කම් හතරක් සමඟ ඒ අංශයේ ශූරතාව දිනාගන්නත් හැකිවුණා. ඉදිරියේදී මගේ බලාපොරොත්තුව ඉදිරි ලෝක ශූරතා තරඟාවලියකදී රන් පදක්කමක් හිමිකරගැනීමයි. මම මගේ රට වෙනුවෙන් යුතුකමක් කළ බව හිතනවා.තවත් දුර ගමනක් යන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් ගොඩක් මහන්සිවෙලා පුහුණුවීම් කරනවා. මගේ ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතූ සියලුම දෙනාට හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.”

පූර්ණකාලීන ක්‍රීඩිකාවක ලෙස කටයුතු කිරීමට කැමති ශෙනුකිගේ අනාගත බලාපොරොත්තුව ක්‍රීඩා පුහුණුකාරිනියක් වීමය. ඇය මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපන කටයුතුවල නිරතවෙමින් සිටී. එමෙන්ම ඇය ඔටිසම් දරුවන් වෙනුවෙන් වන සමාජ පදනමක ද ක්‍රියාකාරී සාමාජිකාවකි. එම දරුවන්ගේ ක්‍රීඩා දස්කම් ඉහළ නංවා ඔවුන් එම අංශයෙන් සමාජයේ ඉහළ තලයකට ගෙනඒම ද තම අපේක්‍ෂාවක් බව ශෙනුකි පවසන්නීය.

“ක්‍රීඩිකාවකට හෝ ක්‍රීඩකයකුට තනියෙන් ගොඩනැගෙන්න බැහැ. ඒ සඳහා පවුලේ අයගේ සහයෝගය, හොඳ පුහුණුකරුවෙක් ලැබීම ආදිය වැදගත්. ඒ වගේම ඉදිරියට යද්දී කකුලෙන් අදින අයත් වැඩියි. තමන් දක්‍ෂ අංශ හඳුනාගෙන බාධක නොතකා ඉදිරියට ගියොත් අපිට ක්‍රීඩාවෙන් බොහෝ දුර යා හැකියි.” යැයි ද ඇය පැවසුවාය.

ඇගේ පුහුණුකරු වන රන්සිළු ජයතිලක ද ආසියානු ශූරතාවලියේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් හිමිකරගත් අතර ඔහු මෙවර ආසියානු රන් පදක්කමක් හිමිකරගත්තේ පස්වැනි වරටය.

“මම ශෙනුකි තුළ මෙම ක්‍රීඩාවට දක්‍ෂතාවක් තියෙන බව හඳුනාගත්තා. මේ ක්‍රීඩාවේ අපි දකින්නේ ශක්තිය තියෙන උස මහත මිනිස්සු. කෙට්ටු ළමයින් මෙවැනි ක්‍රීඩාවලට යොමුවෙන්න එතරම් හිතන්නේ නැහැ. මේ අංශයේ ඉන්නවා අඩුයි. ඒත් ශෙනුකි තුළ ශක්තිය වගේම කැපවීමක් තියෙනවා මම දැක්කා. මම දැක්ක වැඩියෙන්ම කැපවෙන ක්‍රීඩිකාවක්. ඒ වගේම ඇය ඉදිරියේදී තරුණියන් මේ ක්‍රීඩාවට යොමුවීම සඳහා ආදර්ශයක් වනු ඇතැයි මා සිතනවා.” ශෙනුකි පිළිබඳව ඔහු පැවසීය.

ශෙනුකිට අනාගතයේදී රටට තව තවත් ගෞරවයන් දිනාදීමට හැකිවේවා යන්න අපේ ද පැතුමයි !!

සටහන - ඩයනා උදයංගනී විතාන
ඡායාරූප - සජීව ලක්ෂාන්
උපුටා ගැනීම - සිරිකත

RECOMMEND POSTS