රජ පවුලට එක්වුණු රජ පැටික්කි



බ්‍රිතාන්‍ය රජ පවුලට අලුත් රජ පැටියෙක් එක් විය. ඇය ලිලිබට් 'ලිලී' ඩයනා මවුන්ට්බැටන් වින්ඩ්සෝර් ය. ලිලී බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි හැරී කුමරු සහ බිරිඳ මෙගාන් මාකෙල්ගේ දෙවැනි දරුවා වන අතර, ඔවුන්ගේ පළමු දියණියයි.

හැරී මෙගාන් යුවළ මත ගැටුම් හේතුවෙන් රජ පවුලෙන් වෙන්වී, ඇමෙරිකාවේ පදිංචියට පැමිණ සිටිති. ලිලී උපන්නේ පසුගිය ජූනි 4 වැනිදාය. බ්‍රිතාන්‍යයේ සිටියා නම් හැරී මෙගාන්ගේ දෙවැනි දරු ප්‍රසූතිය 'බේක්‍රිං නිවුස්' එක්ක වන්නට ඉඩ තිබුණි. මෙගාන් විලිරුදාවෙන් රෝහල කරා යනු අයුරු දැක්වෙන පැපොරාසි ඡායාරූප සහ වීඩියෝ දසුන් දැක ගන්න ඉඩ තිබුණි.

ඒත් ඇමෙරිකානුවන්ට හෝ ඇමෙරිකන් මාධ්‍යවලට හැරී මෙගාන්ගේ දරු ප්‍රසූතිය බ්‍රේකිං නිවුස් එකක් වූයේ නැත.
මෙගාන් දියණියක ප්‍රසූත කළ බව ඇමෙරිකාවේ අංක එකේ පුවත් සේවය වන සී.එන්.එන්. සහ සෙසු පුවත් නාළිකා නිවේදනය කරන්න වූයේ ජූනි 6 වැනිදාය. ඒ වනවිට මෙගාන් සිය දූ සිඟිත්ත තුරුළු කරගෙන නිවසට ගොස් හමාරය. දරු ප්‍රසූතිය සිදුවූයේ කැලිෆෝනියාවේ සැන්ටා බාබරා රෝහලේදීය. ලිලීගේ උපන් බර රාත්තල් 7 අවුන්ස 11 ක් බව පැවැසිණි. 'සතුටුයි. මවත් දරුවත් හොඳින්' සැන්ටා බාබරා රෝහල නිවේදනයේ සඳහන් වූයේ එයයි.

ලිලිබට් 'ලිලී' ඩයනා මවුන්ට්බැටන් වින්ඩ්සෝර්, බ්‍රිතාන්‍ය කිරීටයට උරුමකම් කියන 8 වැනි සාමාජිකයාය. ඒ අනුව, දෙවැනි එලිසබත් මහ රැජිනගේ සොහොයුරු ඇන්ඩෲ කුමරු 9 වැනි ස්ථානයට පත් පත් වෙයි.  දෙවැනි එලිසබත් මහ රැජිනට මී මුණුපුරු මිණිබිරියන් 10 දෙනකු සිටි අතර ලිලී එකොලොස් වැන්නිය ලෙස ඒ අතරට එක්වී සිටී.

දරු ප්‍රසූතිය සම්බන්දයෙන් පුවත් පළ වෙද්දී, සමාජ මාධ්‍ය ඔස්සේ හැරී මෙගාන් යුවළට ලොව නන්දෙසින් උණුසුම් සුබ පැතුම් ලැබෙන්න පටන් ගත්තේය. ඒ අතරින් වඩාත් වැදගත්ම සුබ පැතුම ලැබුණේ හැරී කුමරුන්ගේ මිත්තණිය දෙවැනි එලිසබත් මහ රැජිනගෙනි. ලිලීගේ උපත පිළිබඳ පුවත ඇසීමෙන් තමන් අතිශය සතුටට පත්වුණු බව මහ රැජින පවසා තිබුණි.

හැරී කුමරුන්ගේ පියා චාල්ස් කුමරු සුබ පැතුවේ ට්විටර් පණිවුඩයකිනි. හැරී කුමරුන්ගේ අයියණ්ඩිය විලියම් කුමරු සහ බිරිඳ කේට් මිඩ්ල්ටන් ද සුබ පතමින් කියා සිටියේ පුංචි ලිලීගේ උපත පිළිබඳ අසල්ල ලැබීමෙන් තමන් අතිශය සතුටට පත් වුණු බවය. මෑතදී යුග දිවියට පත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ද ලිලීට සුබ පැතුවාය. ඊට අමතරව, බ්‍රිතාන්‍ය විපක්ෂ නායක මෙන්ම එරට කම්කරු පක්ෂ නායකයා ද වන ශ්‍රීමත් කිර් ස්ටාමර් ද නව බිලිඳියට සුබ පැතුම් එක් කිරීමට අමතක නොකළේය.

36 හැවිරිදි හැරී සහ 39 හැවිරිදි මෙගාන් විවාහ වූයේ 2018 මැයි මාසයේය. ඒ දෙදෙනා දෙදෙනාටම පොදු මිතුරියකගේ මාර්ගයෙන් දැන හඳුනා ගැනීමෙන් පසුවය. මාකෙල් පළමු වරට මවු පදවියට පත් වූයේ 2019 වසරේ දිය. අලුත උපන් ලිලීගේ අයියණ්ඩිය ආචී හැරිසන් මවුන්ට්බැටන් වින්ඩ්සර්ය.

හැරී මෙගාන් යුවළ රජ පවුලෙන් වෙන්වී, රාජකීය කටයුතුවලින් ඉවත් වී, ඇමෙරිකාවට ගොස් ස්වාධීනව ජීවත් වෙන්න තීරණය කළේ 2020 මාර්තු මාසයේදීය. ඒ, රජ පවුලේ නීතිරීති සහ වගකීම්වලට බැඳී සිටීම තව දුරටත් කළ නොහැකි බව පෙන්වා දෙමිනි. හැරී කුමරු කියා සිටියේ, තමන්ටත් තම ඇමෙරිකන් ජාතික ආදරණීය බිරිඳ මෙගාන්ටත්,‍ දරුවන්ටත් නිදහස අවශ්‍ය බවය.

මෙගාන් ජනප්‍රිය ටෙලි නිළියකි. කලින් විවාහ වූ තැනැත්තියකි. ඇමෙරිකාවේ පදිංචියට ආ හැරී මෙගාන් යුවළට බොහෝ දෙනාගෙන් උදවු උපකාර ලැබේ. අද හැරී කුමරු 'බෙටර් අප්' නමැති ඇමෙරිකවේ මානසික සුවතා ආයතනයේ ඉහළ තනතුරක් හොබවයි. ඔහුගේ රැකියාව එයයි. මව ඩයනා කුමරිව අහිමි වුණු අවස්ථාවේදී හැරී කුමරුන් මානසිකව කඩා වැටුණේය. ඒ බව ලොවට රහසක් නොවෙයි. 'බෙටර් අප්' හරහා තමන්ට, අනෙක් අයට පිහිටක් විය හැකි බව හැරී කුමරුන්ගේ විශ්වාසයයි. තවත් පුණ්‍යායතන රැසකට ද හැරී කුමරු සම්බන්ධ වී කටයුතු කරයි.

දියණිය ලිලී යනුවෙන් නම් කිරීමට හේතුව දෙවැනි එලිසබත් මහ රැජිනට ගරු කිරීමක් ලෙස බවත්, ඩයනා නම යෙදීමට හේතුව තම මව ඩයනා සිහි කිරීමක් ලෙස බවත් හැරී කුමරු පවසා තිබේ. හැරී කුමරුන්ගේ සොහොයුරා විලියම් කුමරුන් සහ බිරිඳ කේට්ගේ දියණියගේ නමට ද 'ඩයනා' නම ඇතුළත් වෙයි. ඇය චාලට් එලිසබත් ඩයනා ය.

බ්‍රිතාන්‍ය රජ පවුල තරම් ප්‍රසිද්ධ, ජනප්‍රිය රජ පවුලක් වෙන නැත. ජනප්‍රිය නළු නිළියන් සේම, බ්‍රිතාන්‍ය රජ පවුලේ ඉදිරි පෙළ සාමාජිකයන් කෙරෙහි ලොව කවුරුත් උනන්දුවක් දක්වයි. ඒ නිසාම, ඕපාදූප නිර්මාණය වීම ද අරුමයක් නොවෙයි.

පසුගිය මාර්තු මාසයේ ඕපාදූප වෙබ් අඩවි බොහොමයක් වාර්තා කරන්න වූයේ හැරී කුමරු, ඩයනා කුමරියගේ පුතකු වුවත්, හැරී කුමරුන්ගේ පියා චාල්ස් කුමරු නොවන බවය. චාල්ස් කුමරුන්ට බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් වැඩි දෙනකු පවා වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. ඒ ඩයනා කුමරියගේ ජීවිතේ 'අපායක්' කළ තැනැත්තා ලෙස චෝදනා කරමිනි. මෙම අප්‍රසාදය නිසාම, හැරී කුමරුගේ පියා චාල්ස් කුමරු නොවේ යැයි බොහෝ දෙනාගේ අදහසය.

හැරී ට ඇති රතු දුඹුරු පැහැති හිසකෙස් එසේ ඕපාදූප නිර්මාණයට හේතු වන්න ඇතැයි ද පැවැසෙයි. 'ෂෝබිස් චීට්ෂීට්' ඕපාදූප වෙබ් අඩවිය පසුගිය මාර්තු 21 වැනිදා විශේෂ හෙළිදරව්වක් කළේය. ඒ, හැරීගේ පියා ජේම්ස් හුවෙට් නමැත්තා කියාය. ඩයනා සහ ජේම්ස් අතරේ අනියම් සම්බන්ධයක් තිබුණැයි 'ෂෝබිස් චීට්ෂීට්' පවසයි. මෙය ඩයනා කුමරියට ආදරේ කරන, ගෞරව කරන බොහෝ දෙනාගේ දැඩි විරෝධයටත් අප්‍රසාදයටත් හේතුවක් විය.

ජේම්ස් හුවෙට් යනු ඩයනා කුමරියට අසු පදින්න පුහුණු කළ පුහුණුකරුය. මෙම 'විකාර කතාව' සම්බන්ධයෙන් 'ද සන්ඩේ මිරර්' පුවත්පත ජේම්ස් හුවෙට්ගෙන් විමසීමක් කරද්දී, ඔහු ඊට සිනාසුනේය. ''ඩයනා කුමරියට මං හුඟක් ගරු කරනවා. ඇය ගුණවත්, හරිම හොඳ ප්‍රියමනාප තැනැත්තියක්. මට ඩයනා කුමරිය පළමුවෙන් හමුවුණේ 1984 වසරෙන් පසුවය. හැරී උපන්නේ 1984 සැප්තැම්බර් 15 වැනිදාය. බොහෝ දෙනා මා හැරීගේ පියා යැයි කියන්නේ අප දෙදෙනාට රතු හිස කෙස් ඇති නිසයි.'' යැයි ජේම්ස් හුවෙට් කීවේය.

චාල්ස් කුමරුන්ගේ පවුලේ කාටවත් රතු හිසකෙස් නැත. නමුත්, ස්පෙන්සර් පවුලේ රතු හිසකෙස් ඇත්තෝ වෙති. ස්පෙන්සර් පවුල යනු ඩයනා කුමරියගේ පාර්ශ්වයයි. ඩයනා ස්පෙන්සර් ඇගේ නමය. ඩයනා කුමරියට රතු හිසකෙස් නැතත්, ඇගේ සොහොයුරිය සේරා මැකෝඩේල්ට රතු හිස කෙස් ඇත.  ඩයනා කුමරියගේ සොයුරු ඒර්ල් ස්පෙන්සර්ට ඇත්තේ ද රතු හිස කෙස්ය.

ඇමෙරිකන් පුවත් සේවා ඇසුරිනි


RECOMMEND POSTS