චාල්ස් රජුගේ රාජාභිෂේකය



දෙවැනි එලිසබත් රැජිනගේ අභාවයෙන් පසු රාජ්‍යත්වයට පත්, ඇගේ වැඩිමල් පුතු තෙවැනි චාල්ස් රජු සහ රජ මෙහෙසිය කැමිලා පාකර්ගේ රාජාභිෂේකය ඊයේ (6) ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේ දී පැවැත්විණි.

වසර 70 කට පසු, බ්‍රිතාන්‍යයේ පැවැත්වුණු රාජාභිෂේක මංගල්‍යය මෙය වූ අතර‍, රාජාභිෂේක මංගල්‍යය සඳහා වසර දහසක් පැරැණි චාරිත්‍ර භාවිත කෙරුණි. 

තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේක මංගල්‍යය ආරම්භ වූයේ චාල්ස් රජු සහ කැමිලා රජ මෙහෙසිය බකිංහැම් මාලිගයේ සිට වෙස්ට්මින්ස්ටර් දෙව් මැදුර බලා විශේෂ රිය පෙරහරකින් පැමිණීමෙන් පසුවය.

අයහපත් කාලගුණයක් පැවැතියත් දහස් ගණනක් බ්‍රිතාන්‍ය වැසියෝ මඟ දෙපස රැස්වී, රාජකිය යුවලට සුබ පැතුම් එක් කළහ.

චාල්ස් රජු සහ කැමිලා මෙහෙසිය ලන්ඩනයේ ට්‍රැෆල්ගා චතුරස්‍රය, පාර්ලිමේන්තු චතුරස්‍රය පසු කරමින් වෙස්ට්මින්ස්ටර් දෙව් මැදුර බලා පැමිණියේ දෙවැනි එලිසබත් මහ රැජින විසින් ද භාවිතයට ගනු ලැබූ රනින් නිර්මාණය කළ අශ්ව කරත්තයෙනි. 2012 වසරේ දී රැජිනගේ දියමන්ති ජුබිලිය නිමිත්තෙන් මෙම අශ්ව කරත්තය අලුත්වැඩියා කර තිබුණි.

වෙස්ට්මින්ස්ටර් දෙව්මැදුරේ පැවැති රාජාභිෂේක උත්සවයට ආරාධිතයෝ 2,200 ක පිරිසක් සහභාගී වූහ. ඇමෙරිකන් ජනාධිබති ජෝ බයිඩන් සහ ආර්යා ජිල් බයිඩන්, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ද ඇතුළු රටවල් 203 ක රාජ්‍ය නායකයෝ ද ඒ අතර වූහ.     

උත්සව සභාවට වත්මන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ බිරිඳ  පමණක් නොව, හිටපු අග්‍රාමාත්‍යවරු සහභාගී වූහ. පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල නායකයෝ ද ඇරැයුම් ලැබ රාජාභිෂේකයට සහභාගී වී සිටියහ.

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ අතර විය. කොවිඩ් 19 වසංගත සමයේ කළ සේවය වෙනුවෙන් ඇගැයීමට ලක් වී, දෙවැනි එලිසබත් මහ රැජිනගේ සම්මානයට පාත්‍ර වූ ශ්‍රී ලාංකික වෛද්‍ය හරීන් ද සිල්වා ද රාජාභිෂේකයට ඇරැයුම් ලැබ සිටීම විශේෂත්වයකි.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සියලු සාමාජිකයෝ රාජාභිෂේකයට සහභාගී වූහ. පියා චාල්ස් රජුගෙන් පසු කිරුළ හිමි වන විලියම් කුමරු, වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන්, ඔවුන්ගේ දරු තිදෙනා වන ජෝර්ජ් කුමරු, චාලට් කුමරිය සහ ලුවී කුමරු සමග රාජාභිෂේකයට පැමිණියහ.
සිත් අමනාපකම් හේතුවෙන් රජ පවුලෙන් ඈත් වුණු සසෙක්ස් ආදිපාදවරයා යන ගරු නාමයෙන් හැඳින්වෙන හැරී කුමරු පමණක්, පියාගේ රාජාභිෂේකය නිමිත්තෙන් ඇමෙරිකාවේ සිට ලන්ඩනයට පැමිණ සිටියේය. ඒ සඳහා ආරාධනා නොලද ඔහුගේ බිරිඳ මේගන් දරු දෙදෙනා ආචී සහ ලිලිබට් සමඟ කැලිෆෝනියාවේ රැඳී සිටියාය.

රුසියා, ඉරාන, බෙලරූස්, මියන්මාර, ඇෆ්ගනිස්තාන, සිරියා සහ වෙනිසියුලා යන රටවල රාජ්‍ය නායකයන්ට රාජාභිෂේකයට ඇරැයුම් කර නොතිබුණි.

රාජාභිෂේක මංගල්‍යය සම්ප්‍රදායට අනුව, අදියර පැවැත්විණි. පළමුවෙන් චාල්ස් රජු රැස්ව සිටි පිරිස හමුවේ පෙනී සිටියේය. ඒ, රාජාභිෂේකයට සූදානම් බව දැනුම් දෙමිනි. ඉන් අනතරුව, කැන්ටබරි අගරදගුරු චාල්ස් රජු, බ්‍රිතාන්‍යයේ නව රජු ලෙස හඳුන්වා දීම සිදු කෙරුණි. තෙවැනි චාල්ස් රජු බයිබලය මත අත තබා දිවුරුම් දුන්නේ ඉන්පසුවය.

දෙව්මැඳුරට පැමිණි චාල්ස් රජු අසුන් ගත්තේ ‘එඩ්වඩ් රජුගේ අසුන’ යනුවෙන් හැඳින්වුණු විශේෂ රාජාභිෂේක පුටුවේය. මෙය සියවස් ගණනක් පැරැණි කැටයම් සහිත ලී පුටුවකි. බ්‍රිතාන්‍ය රාජකීයයන් කිරුළු පැලඳීමේ දී අසුන් ගන්නේ මෙම පුටුවෙහිය. පළමුවෙන් මෙම පුටුව භාවිතයට ගත්තේ පළමුවැනි එඩ්වඩ් රජුය. ඒ, 1296 වසරේදීය.

රාජාභිෂේකයේ සිවුවැනි අදියර වූයේ ඔටුනු පැලඳවීමය. චාල්ස් රජු සිය ජීවිතයේ එක් වරක් සඳහා ශාන්ත එඩ්වඩ් ඔටුන්න පැලැඳුවේය. ඒ අනුව, කිලෝ දෙකක් පමණ බරැති මෙම ඔටුන්න පැලැඳූ හත් වැනි බ්‍රිතාන්‍යය රජු බවට පත්විය.

අවසන් වරට මෙම ඔටුන්න භාවිත කර ඇතැයි පැවැසෙන්නේ මීට වසර 70 කට පෙර, දෙවැනි එලිසබත් රැජිනගේ රාජාභිෂේක උත්සවයේදීය. ඔටුනු පැලදීමත් සමඟ ට්‍රම්පට් නාදයෙන් වෙස්ට්මින්ස්ටර් දෙවැ මැදුර දෝංකාර දුන් අතර, පිටත ආචාර වෙඩි මුර පැවැත්විය. කැමිලා මෙහෙසිය, රැජින ලෙස දිවුරුම් දීම ඉන් අනතුරුව සිදුවුණු අතර, ඇයට ඔටුන්නක් පිරිනැමීම ද සිදුවිය. ඇයට පිරිනමනු ලැබුවේ මේරී රැජිනගේ ඔටුන්නය.

වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ රාජාභිෂේක කටයුතු අවසන් වීමෙන් පසු, චාල්ස් රජු සහ කැමිලා රැජින, යළි රාජකීය පෙරහරෙන් බකිංහැම් මාලිගය බලා පැමිණියහ.

බකිංහැම් මාලිගයේ සඳළු තලයේ සිට තෙවැනි චාල්ස් රජු සහ කැමිලා බිසව, මාලිගය ඉදිරිපිට රැස්ව සිටි පිරිස් වෙත අත වනමින් ආචාර කළේ ඉන්පසුවය.

(බීබීසී)


RECOMMEND POSTS