’පෙගසස්’ අවභාවිතයට ලක්වුණාදැයි සොයනවා



ඊශ්‍රායලයේ 'එන්.එස්.ඕ ගෲප්' සමාගමෙන් මිලදී ගත් 'පෙගසස්' මෘදුකාංගය අවභාවිතයට ලක්වී ඇතිදැයි වහා සොයා බැලීමට විමර්ශනයක් ආරම්භ කළ බව ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය කියයි.

'එන්.එස්.ඕ ගෲප්' යනු ඔත්තු බැලීම් සඳහා තාක්ෂණික සහාය ලබා දෙන ඊශ්‍රායලයේ පෞද්ගලික තාක්ෂණික සමාගමකි. පෞද්ගිලක සමාගමක් වුවත්, 'එන්.එස්.ඕ ගෲප්' ක්‍රියාත්මක වන්නේ ඊශ්‍රායල ආරක්ෂක අමත්‍යාංශය යටතේය.

'පෙගසස්' යනු 'එන්.එස්.ඕ ගෲප්' සමාගම හරහා අලෙවිකරණ මෘදුකාංගයකි. මෙය භාවිතයට ගනිමින්, ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතන හරහා ඔත්තු බැලීම් සිදුවෙයි.

'එන්.එස්.ඕ ගෲප්' සමාගමට අනුව, ඔවුන් ඔවුන්ගේ සේවාව ලබා දෙන්නේත්, 'පෙගසස්' මෘදුකාංගය අලෙවි කරන්නේත් රජයන්ට සහ බුද්ධි අංශ සඳහා පමණි.

කෙසේ නමුත් විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇති ආකාරයට රජයන්, බුද්ධි අංශ පමණක් නොව, පෞද්ගලික මට්ටමින් දේශපාලනඥයන්, ව්‍යාපාර ප්‍රධානීන්, අරාබි රජ පවුල්වල සාමාජිකයන් ආදිය 'පෙගසස්' මිලදී ගෙන එය භාවිතයට ගනිමින්, මාධ්‍යවේදින්, නීතීඥවරුන්, සමාජ ක්‍රියාකාරීන්, රාජ්‍ය නායකයන් සහ විපක්ෂ ක්‍රියාකාරීන් ගැන රහසේ ඔත්තු බලයි.

ඊශ්‍රායල ආරක්ෂක කවුන්සිලය ඇත්තේ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා යටතේය. 'පෙගසස්'  මෘදුකාංගය අවභාවිතයට ලක්වී ඇතිදැයි යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ යුතු යැයි පවසා ඇත්තේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට්ය. විමර්ශන කටයුතු ඒ අනුව ආරම්භ වී තිබේ.

මාධ්‍ය හරහා ලොවට අනාවරණය වී ඇති ආකාරයට මේ වනවිට 'පෙගසස්' මෘදුකාංගය අවභාවිතයට ලක් වී ඇත්තේ ප්‍රංශය, මෙක්සිකෝව, ඉන්දියාව, මොරොක්කෝව සහ ඉරාකයයි.
ඔත්තු බැලීමට ලක්වුණු රාජ්‍ය නායකයන් අතරේ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පමණක් නොව, මැක්රොන්ගේ රජයේ ප්‍රධාන පෙළ ඇමැතිවරුන් සහ ප්‍රංශ රාජ්‍ය නිලධාරීන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබේ.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පමණක් නොව පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ඉරාක ජනාධිපති බර්හාම් සාලී සහ මොරොක්කෝවේ හය වැනි මොහොමද් රජු සම්බන්ධයෙන් ද ඔත්තු බැලීම් සිදු වී තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS