සෞදියෙන් ඇමෙරිකන් ඩොලර් බිලියන 8 ක්



දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානයට ඇමෙරිකන් ඩොලර් බිලියන 8 ක සහන පැකේජයක් ලබා දීමට සෞදි අරාබිය කැමැත්ත පළ කර තිබේ.

පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඇතුළු නියෝජිත කණ්ඩායමක් පසුගිය සති අන්තයේ සෞදියේ රියාද් අගනුවර බලා ගියේ එම මූල්‍ය පැකේජය ලබා ගැනීම සම්බන්ධයෙන් සෞදි රජය සමඟ සාකච්ඡා පැවැත්වීමටය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයට පත් වීමෙන් පසු ෂෙහ්බාස් ෂරීෆ්ගේ පළමු විදෙස් සංචාරය මෙය විය. සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගෙන් අග්‍රාමාත්‍යවරයාට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

සෞදි සංචාරයට පාකිස්තාන නව මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මායිල් ද එක් විය. සල්මාන් කුමරු සහ එරට රජයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කර එකඟාවකට පැමිණීමෙන් පසු අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් ඇතුළු නියෝජිත කණ්ඩායම යළි පාකිස්තානයට පැමිණියත්, මුදල් අමාත්‍ය මිෆ්තා ඉස්මායිල් තවමත් සෞදියේ රැඳී සිටින බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ සෞදියෙන් ලැබෙන එම මූල්‍ය පැකේජය සම්බන්ධයෙන් අවශ්‍ය ලියකියවිලි සකස් කර ගැනීම සඳහා යැයි ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS