සෞඛ්‍ය සංවිධානයෙන් පලස්තීනුවන්ට එන්නත්



'කොවැක්ස්' වැඩසටහන යටතේ, ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පලස්තීන පාලන අධිකාරියට ප්‍රතිශක්තිකරණ එන්නත් ලැබී ඇත.

පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඉන්දියාවේ පූනේ නුවර සේරම් සමාගම නිෂ්පාදනය කළ 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත් මාත්‍රා 24,000 ක් ද, ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගම නිපදවූ 'ෆයිසර් බයෝඇන්ටෙක්' එන්නත් මාත්‍රා 38,000 ක් ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ 'කොවැක්ස්' වැඩසටහන යටතේ පසුගිය 14 වැනිදා තමන්ට ලැබුණු බවය.

'ෆයිසර්' එන්නත යොදා ගනිමින් කඩිනමින් එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළ නමුත්, ලේ කැටි ගැසී මරණ සිදුවෙනවා යැයි බියක් පවතින බැවින් 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත ලබා දීම ප්‍රමාද කිරීමට පලස්තීන සෞඛ්‍ය බලධාරීන් තීරණය කර ඇත. එන්නත් මේ වනවිට ආරක්ෂිතව ගබඩා කර ඇතැයි පැවැසෙයි.

'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' එන්නත් සම්බන්ධයෙන් බිය නොවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම පවසා ඇති අතර, එන්නත සම්බන්ධයෙන් පුළුල් විද්‍යාත්මක පර්යේෂණයක් ආරම්භ කර තිබේ.

එම පර්යේෂණ කඩිනමින් අවසන් වනු ඇති බව ද පැවැසෙයි. පර්යේෂණ අවසන් වනතුරු එන්නත ගබඩා කර තැබෙන බවත් පසුව එය භාවිතයට ගන්නා බවත් පලස්තීන සෞඛ්‍ය අංශ පවසා ඇත.

පලස්තීන පාලන අධිකාරිය යටතේ පවතින්නේ ගාසා තීරය සහ බටහිර ඉවුරය. බටහිර ඉවුරේ පලස්තීනුවන් මිලියන 3.1 ක් වාසය කරන අතර ගාසා තීරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 1,46,359 කි. මරණ වාර්තා වන්නේ 1,667 ක් ලෙසය.

ගාසා තීරයේ පලස්තීන ජනගහනය මිලියන දෙකක් වන අතර, ගාසා තීරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් ගණන 57,891 කි. මරණ වාර්තා වන්නේ 572 ක් ලෙසය.

'කොවැක්ස්' පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් එන්නත් ලැබීමට පෙර, පලස්තීන පාලන අධිකාරිය මැදිහත් වී රුසියානු රජය සමඟ සාකච්ඡා පවත්වා රුසියාවේ 'ස්පුට්නික් 5' එන්නත පලස්තීන වැසියන් වෙනුවෙන් ලබා ගත්තේය. ගාසා තීරයේ 8,500 දෙනකු සහ බටහිර ඉවුරේ 5,000 කට 'ස්පුට්නික් 5' එන්නතේ පළමු මාත්‍රාව මේ වනවිට ලැබී අවසන් යැයි පැවැසෙයි.

මේ අතර, ඊශ්‍රායල රජය යටතේ ලියාපදිංචි වී, ඊශ්‍රායලයේ ශ්‍රමිකයන් ලෙස රැඳී සිටින පලස්තීනුවන් 1,20,000 න් 90,000 කට ඊශ්‍රායල රජය මැදිහත් වී එන්නත් ලබා දීමට කටයුතු කර තිබේ.

(රොයිටර්)


RECOMMEND POSTS