සූවස් ඇළ හරස්වෙලා ජංජාලයයි



මීටර් 400 ක් දිග, මීටර් 95 ක් පළල, දැවැන්ත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සිරවීම හේතුවෙන්, සූවස් ඇළේ ගමනාගමන කටයුතු මුළුමනින්ම අඩපණ වී තිබේ.

ලොව කාර්යබහුල නැව් මාර්ගයක් ලෙස සැලෙකන්නේ සූවස් ඇළ ය.

පාලනයෙන් ගිලිහී, සූවස් ඇළෙහි පැත්තට ඇදී ගොස් වැලි පරවල ගැටී සිරවූයේ පැනමාවේ ලියාපදිංචි ‘එවර් ගිවන්’ නමැති එම භාණ්ඩ ප්‍රවාහන නෞකාවය.

මෙම සමාගම, පැනමාවේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගම යටතේ ලියාපදිංචි වූවකි.

නෞකාව, චීනයේ සිට භාණ්ඩ රැගෙන නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරය තෙක් යාත්‍රා කිරීමට නියමිතව තිබුණි.

නෞකාව සූවස් ඇළ ට පිවිස ඇත්තේ මධ්‍යධරණී හරහා යුරෝපයට යෑමටය.

ටොන් 2,00,000 ක් බරැති ‘එවර් ගිවන්’ නැව ඉදිකර ඇත්තේ 2018 වසරේදීය.

‘එවර් ගිවන්’ නැව පැත්තට සිරවූ හෙයින් මේ වනවිට කිසිදු යාත්‍රාවකය සූවස් ඇළ හරහා යෑමට නොහැකි වී ඇත.

භාණ්ඩ සහ තෙල් ප්‍රවාහන නැව් 100 කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ‘එවර් ගිවන්’ නැව දෙපස ගොඩ ගැසී ඇතැයි ඊජිප්තු පුවත් සේවා වාර්තා කරයි.

එසේ සිරවුණු නැව් අතරේ ඉන්ධන බැරල් මිලියන 13 ක් රැගත් නැව් 10 ක් ද ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වනවිට නැවේ ගමනාගමන කටයුතු මුළුමනින්ම පාහේ අඩපණ වී ඇති බැවින්, එය ගෝලීය ආර්ථිකයට විශාල බලපෑමක් ඇති කරනු ඇතැයි බිය පළ කෙරේ.

(ඒ.එෆ්.පී. සහ ඩේලිමේල්)


RECOMMEND POSTS