සුළි කුණාටුව සෞදියට



මහ වැසි සහ තද සුළං ද සමඟ ඉරානයටත් ඕමානයටත් කඩා වැදුණු 'ෂාෂීන්' සුළි කුණාටුව, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අනතුරු අඟවති.

සුළි කුණාටුව හමා යන්නේ පැයට කිලෝ මීටර් 120 ත් 150 ත් අතර වේගයකිනි. සුළි කුණාටුව ගැන අනතුරු ඇඟවීම් කර ඇති බැවින් අනාරක්ෂිත ස්ථානවල පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට සෞදි සහ එමිරේට්ස් බලධාරීහු පියවර ගත්හ.

'ෂාෂීන්' සුළි කුණාටුව මහ වැසි සහ තද සුළං ද සමඟ ඕමානයටත් ඉරානයටත් කඩා වැදුණේ ඉකුත් සති අන්තයේදීය. සුළි කුණාටුවේ බලපෑම් හේතුවෙන් ඕමානයෙන් සහ ඉරානයෙන් මරණ 9 ක් වාර්තා වී තිබේ. ඉරානයෙන් වාර්තා වූ මරණ ගණන 6 කි.
සුළි කුණාටුවෙන් දැඩි හානියක් සිදුවූයේ 'චබහාර්' වරායටය. ඉරානයේ නගර බොහොමයකට සුළි කුණාටුවෙන් හානි සිදුවී ඇති බවත්, නිවාස රැසකට විදුලි බලය නොමැති බවත් වාර්තා වේ.

ඕමාන මාධ්‍ය වාර්තා කළේ එරට ඉදිකිරීම් බිමක සිදුවුණු පස් කදු කඩා වැටීමක් හේතුවෙන් ආසියානු කම්කරුවන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. මියගිය අනෙක් තැනැත්තා කුඩා දරුවෙකි. මෙම දරුවා ජල පහරකට හසුවී ගසාගෙන ගිය බව පැවැසෙයි.

සුළි කුණාටුවෙන් දැඩි හානි සිදුවූයේ ඕමානයේ අල් කුරාම් නගරයටය. නගරයේ පළාත් රැසක් මුළුමනින්ම පාහේ ජලයෙන් යටවිණි. ඒ අනුව, අනතුරු සිදුවිය හැකි බැවින් බලධාරීන් නගරයේ විදුලි සැපැයුම අඩාල කිරීමට පියවර ගත් බව ද වාර්තා වේ. අධික වර්ෂාවෙන් සහ ජල ගැලීම්වලින් දැඩි හානි සිදුවූයේ අල් කුරාම් නගරයටය. 3,000 කට ආසන්න පිරිසක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු අතර ඔවුන් මේ වනවිට සහන කඳවුරුවල රැඳී සිටින බව ද පැවැසෙයි.

ප්‍රධාන වශයෙන් තෙල්වලින් යැවෙන රාජ්‍යයක් ලෙස ඕමානය සැලකෙයි. මිලියන 5 ක් වන ඕමාන වැසියන් වැඩි දෙනා ජීවත් වන්නේ මස්කට් අගනුවර සහ ඒ අවට ප්‍රදේශවලය. හදිසි ආපදා රථ සඳහා පමණක් අගනුවර වීදී විවෘත කරන බව ඕමාන රජය පවසා ඇත.

'ෂාෂීන්' සුළි කුණාටුව ගැන කල් තියා කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවූ බැවින්, ඕමාන රජය 3 සහ 4 යන දෙදින ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි. ඒ අනුව, පාසල් හෝ කාර්යාල හෝ කිසිවක් පැවැත්වූයේ ද නැත. 'ෂාෂීන්' සුළි කුණාටුවේ බලපෑම අනපේක්ෂිත වූ බවත් 'ෂාෂීන්' සුළි කුණාටුවෙන් එල්ල වුණු විපරිත කාලගුණ තත්ත්වයට හේතුව දිනෙන් දින උත්සන්න වන දේශගුණික විපර්යාස බවත් කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ගල්ෆ් කලාපයේ ජූනි, ජූලි සහ අගෝස්තු මාසවල මහ වැසි සහ තද සුළං ඇතිවීම සාමාන්‍යයෙන් සිදුවෙයි. මීට පෙර මේ අයුරින් සුළි කුණාටුවකින් සහ මහ වැසිවලින් ඕමානයට බලපෑම් එල්ල වූයේ 2018 වසරේදීය. ඒ, 'මෙකුනු' නමැති සුළි කුණාටුව කඩා වැදීමෙනි. ඊට බිලිවුණු ගණන 11 ක් බව පැවැසෙයි. 'කොවිඩ් 19' වසංගතය හේතුවෙන් ඕමානය පසුගිය කාලය පුරාවට විදේශිකයන්ට විවෘත වූයේ නැත. රට විදේශික සංචාරකයන්ට විවෘත වූයේ මෙම ඔක්තෝබර් මාසය ආරම්භ වෙද්දීය.

(රොයිටර්)


RECOMMEND POSTS