සිරියානු ජනාධිපතිවරණය අද



සිවිල් යුද ගැටුම්වලින් පීඩාවට පත් සිරියාවේ, ජනාධිපතිවරණය අද (26) ආරම්භ වෙයි. ධුරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කරන ජනාධිපති බෂීර් අල් අසාද් ඊට ඉදිරිපත් වන්නේ සිවුවැනි වරටත් ජනපති ධුරය අපේක්ෂාවෙනි. බෂීර් අල් අසාද් බලයේ රැදී සිටින්නේ 2000 වසරේ සිටය.

මෙවර ජනාධිපතිවරණයේ දී, විදේශගතව සිටින සිරියානුවන්ට, සිරියානු තානාපති කාර්යාල හරහා ඡන්දය ප්‍රකශ කිරීමට අවස්ථාවක් ලබා දීම විශේෂත්වයකි. විදේශවල සිරියානුවන්ට, පසුගිය මැයි 20 වැනිදා සිට ඡන්දය ප්‍රකාශ කිරීමට කටයුතු සූදානම් කර තිබුණු බව ද සිරියානු මැතිවරණ කොමිසම පැහැදිලි කර තිබේ.

අද (26) ආරම්භ වුණු ජනාධිපතිවරණයට අසාද් ට අමතරව තවත් අපේක්ෂකයෝ දෙදෙනෙක් ඉදිරිපත් වෙති. අබ්දුල්ලා සලූම් අබ්දුල්ලා සහ මොහොමද් අහ්මද් මාරේ ඔවුන් දෙදෙනාය. ජනාධිපතිවරණය වෙනුවෙන් තවත් අපේක්ෂකයන් රැසක් නාම යෝජනා ඉදිරිපත් කර තිබුණු බව සිරියානු මැතිවරණ කොමිසම පැහැදිලි කර තිබේ.

කෙසේ නමුත් අවසානයේ සිරියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකට අනුව, අසාද් සමඟ තරග වැදීමට 'සුදුසුකම් ලැබුවේ' අබ්දුල්ලා සලූම් අබ්දුල්ලා සහ මොහොමද් අහ්මද් මාරේ පමණි.

මොහොමද් අහ්මද් මාරේ 64 හැවිරිදි නීතීඥවරයෙකි. අරාබි මානව හිමිකම් සුරැකීමේ සංවිධානයේ ප්‍රධානියා ලෙස ද මොහු කටයුතු කරයි. සිරියාව මුදා ගැනීමේ ජාතික සංවිධානයේ මහ ලේකම් ධුරය ද හොබවයි.

2017 දී සිරියාවේ සිවිල් අර්බුදය සම්බන්ධයෙන් ජිනීවා නුවර පැවැති සාකච්ඡා සඳහා සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින් සහභාගී වූයේ ද මොහුය. මොහොමද් අහ්මද් මාරේ නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් අරාබි පක්ෂයයි.

65 හැවිරිදි අබ්දුල්ලා සලූම් අබ්දුල්ලා සිරියානු රජයේ හිටපු රාජ්‍ය ඇමැතිවරයෙකි. මොහු නියෝජනය කරන්නේ සමාජවාදී පක්ෂයයි.

සිරියානු සිවිල් යුද්ධය ආරම්භ වූයේ මීට වසර 11 කට පෙරය. සිවිල් යුද්ධය පැවැති කාලයේ, සිරියාවේ පැවැත්වෙන දෙවැනි ජනාධිපතිවරණය මෙයයි.

සිරියාවේ සිවිල් යුද්ධයක් හටගත්තේ විපක්ෂ දේශපාලන කණ්ඩායම් අසාද් පාලනය ප්‍රතික්ෂේප කිරීමත් අසාද් හමුදාවත් පොලිසිත් යොදවා විපක්ෂ විරෝධතාකරුවන් නිහඩ කිරීමට උත්සාහ ගැනීමත් සමඟය.

සිරියාවේ එසේ විරෝධතා හටගත්තේ, බටහිර රටවල 'උසිගැන්වීමෙන්' ටියුනිසියාවෙන්ස, ඊජිප්තුවෙන් සහ ලිබියාවෙන් ඇරැඹි ජනතා පිබිදීම මැද යැයි දේශපාලන විශ්ලේෂකයෝ සිහිපත් කරති.

ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් සිරියානු විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දෙද්දී, රුසියාවත්, ඉරානයත් සිරියානු ජනාපති අසාද්ගේ ෂියා මුස්ලිම් රජයට සහාය දැක්වීය. රුසියාව, සිරියානු රජයට සහාය දක්වන්නේ, සිරියාවේ රුසියන් ගුවන් හමුදා කඳවුරක් ඇති බැවිනි.

සිරියානු හමුදා විපක්ෂ දේශපාලන කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී, ඇමෙරිකාව, ප්‍රංශය ඇතුළු බටහිර රටවල් විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට අවි ආයුධ ලබා දුන්නේය. ඉරාකයේ බලය අල්ලාගෙන සිටි අයි.එස්. ත්‍රස්ත කණ්ඩායම, සිරියානු සටනට එක් වී, බටහිර අවි ආයුධවලින් ශක්තිමත් වී පසුව බිහිසුණු ත්‍රස්ත සංවිධානයක් බවට පත් වූයේ මෙම අවස්ථාවේදීය.

අද වනවිට සිරියානු විපක්ෂයත්, අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයත් අඩපණ කර දැමීමට ජනපති අසාද්ගේ රජය සමත් වී ඇත. ඒ, රුසියාව, ඉරානය ලබා දුන් සහාය නිසාය. තවමත් රුසියාවත් ඉරානයත් සිරියානු රජයට සහාය දක්වන අතර, අසල්වැසි තුර්කිය සිරියානු අර්බුදයට මැදිහත් වී, විපක්ෂ දේශපාලන කණ්ඩායම්වලට සහාය දක්වයි.

සිරියාවේ ගැටුම් හේතුවෙන් සිරියානු වැසියෝ මිලියන 6.6 ක් සරණාගතයන් ලෙස යුරෝපා රටවල සරණාගත කඳවුරුවල ජීවත් වෙති. අද (26) පැවැත්වෙන ජනාධිපතිවරණයට අසාද් ඉදිරිපත්වීම කෙරෙහි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් විරෝධය පළ කර ඇත.

බටහිර දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී ඇත්තේ මෙවර ජනාධිපතිවරණයෙන් ද 55 හැවිරිදි අසාද් යළි ජයග්‍රහණය කරනු ඇති බවය. සිවිල් ගැටුම්වලින් හෙම්බත් වුණු සිරියාව කොරෝනා වසංගතයෙන් ද පීඩාවට පත් වී සිටී.

ජාත්‍යන්තර ආධාර යටතේ සහ ලෝක සංවිධානයේ කොවැක්ස් වැඩසටහන යටතේ සිරියානු වැසියන්ට එන්නත් ලැබීම සිදුවෙයි. සිරියානු ජනාධිපති අසාද් මෙන්ම ඔහුගේ බිරිඳ ද කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා සිටිති. අද දින ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ ද මැතිවරණ කොමිසම සහ සෞඛ්‍ය අංශ ලබා දුන් මාර්ගෝපදේශ යටතේය.

රොයිටර්


RECOMMEND POSTS