සල්මාන් කුමරු යුරෝපා සංචාරයක් අරඹයි



සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු යුරෝපා සංචාරයක් ආරම්භ කරමින් ග්‍රීසියේ ඇතන්ස් අගනුවර බලා පැමිණියේය. ග්‍රීක අග්‍රාමාත්‍ය Kyriakos Mitsotakis ගෙන් කුමරුන්ට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි.

2018 වසරේ දී, සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනයෙන් පසු සල්මාන් කුමරු යුරෝපා රටවල සංචාරයක නියැළෙන පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

ජමාල් කශොග්ජී යනු සල්මාන් කුමරු නිර්දය ලෙස විවේචනය කරමින්, ඇමෙරිකාවේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පතට තීරු ලිපි සැපැයූ මාධ්‍යවේදියෙකි. ඝාතනයට ලක් වෙද්දී ජමාල් කශොග්ජී සෞදියෙන් පිටවී ජීවත් වූයේ ඇමෙරිකාවේය.

ජමාල් කශොග්ජී ඝාතනය සිදුවූයේ සල්මාන් කුමරුන්ගේ අනුදැනුම යටතේ යැයි චෝදනා එල්ල වී තිබේ. ඝාතනය සම්බන්ධයෙන් අත්ඩංගුවට ගෙන දඩුවම් නියම කෙරුණේ ද සල්මාන් කුමරුන්ගේ සමීපතමයන් කිහිප දෙනකුටය. සල්මාන් කුමරුන්ගේ ආරක්ෂක අංශ ප්‍රධානියා ද ඒ අතර සිටී.

කශොග්ජී ඝාතනය හේතුවෙන් සල්මාන් කුමරු බටහිර යුරෝපා රටවල අප්‍රසාදයට ලක් විය. 2018 දී කශොග්ජී ඝාතනය හෙළා දකිමින්, සල්මාන් කුමරුන්ට සම්බාධක පැනැවීම් කළ යුතු බවත් දඩුවම් කළ යුතු බවත් දිගින් දිගටම පැවැසූ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් ද පසුගිය දා සෞදි සංචාරයකට ගොස් සල්මාන් කුමරු හමුවී සාකච්ඡා පැවැත්වීය. ඒ යුක්රේන රුසියන් අර්බුදය හේතුවෙන් ලෝකයේ බලශක්ති අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින බැවින් සෞදියේ සහාය අපේක්ෂාවෙනි.

කශොග්ජී ඝාතනයට ලක් වූයේ සිය දික්කසාදයට අදාල ලියවිලිවලට අත්සන් කිරීමට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයට පැමිණි අවස්ථාවේදීය. කශොග්ජීගේ සිරුර පවා සොයාගැනීමට නොහැකි අයුරින් ඝාතනය සිදුවිය.

ඒ වනවිට ඇමෙරිකා ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය. කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන්, ඇමෙරිකාවට සෞදි රජය හෝ සල්මාන් කුමරුන් හෝ අමනාප කර ගැනීමට නොහැකි බව ට්‍රම්ප් පැවැසූ අතර එය යුරෝපා රටවල රාජ්‍ය නායකයන් බොහෝ දෙනාගේ පිළිකුළට හේතුවක් විය.

(රොයිටර්)


RECOMMEND POSTS