සම්බාධකවලින් කොටසක් ඉවත් කරයි



ඉරානයට පනවා ඇති ඇමෙරිකා සම්බාධකවලින් කොටසක් ඉවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පරිපාලනය පියවර ගෙන ඇත.

ජෝ බයිඩන් පරිපාලනය මෙසේ ඉවත් කර ඇත්තේ ට්‍රම්ප් පරිපාලනය 2020 වසරේ දී ඉරානයට පනවා තිබුණු සම්බාධකවලින් කොටසකි.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපති ලෙස ඉරානයට සම්බාධක පැනැවීම කළේ, ඇමෙරිකාව, රුසියාව, චීනය, ප්‍රංශය, මහා බ්‍රිතාන්‍යය සහ ජර්මනිය මෙන්ම යුරෝපා සංගමය ද එක් වී ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇති කරගත් පොදු එකඟතාව උල්ලංඝනය කරමිනි.

එම න්‍යෂ්ටික එකගතාව සම්බන්ධයෙන් රටවල් එක් කර ගනිමින් පොදු එකගතාවක් ඇති කර ගෙන තිබුණේ ට්‍රම්ප්ට පෙර ජනාධිපති ලෙස කටයුතු කළ බැරැක් ඔබාමාය.

බැරැක් ඔබාමා ජනාධිපති ධුරය හොබවද්දී උප ජනාධිපති ලෙස කටයුතු කළේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන්ය.

දැන් යළිත් ඉරානය සමග ඇමෙරිකාව සාකච්ඡා ආරම්භ කර තිබේ. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඉරානයට එරෙහි සම්බාධකවලින් කොටසක් ඉවත් කර ඇත්තේ ලොවට තර්ජනයක් බව පැවැසෙන ඉරානය න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් යළිත් නව එකගතාවයකට යෑමේ අදහසිනි.

සම්බාධකවලින් කොටසක් ඉවත් කිරීමෙන් පසු චීන, රුසියා සහ යුරෝපා රටවල සමාගම්වලට යළිත් ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට ප්‍රවේශ වීමටත්, ඉරාන න්‍යෂ්ටික බලාගාරවල කටයුතු සිදුවන අයුරු අධීක්ෂණය කිරීමටත් අවස්ථාව උදා වෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS