වසංගතය මැද හජ් වන්දනාව ඇරැඹේ



'කොවිඩ් 19' වසංගතය මැද, මුහුණු ආවරණ පැලඳ, සමාජ දුරස්ථභාවය රැක ගනිමින් හජ් වන්දනාව ආරම්භ විය.
මෙවර හජ් වන්දනාව සඳහා අවසර ලැබී ඇත්තේ, 'කොවිඩ් 19' කොරෝනා වයිරසයට එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබාගත් 60,000 කට පමණි.

එම 60,000 ක පිරිස සෞදි ජාතිකයන් සහ සෞදියේ වෙසෙන තෝරාගත් විදේශිකයන් කිහිප දෙනකු යැයි සෞදි රජය නිකුත් කළ නිවේදනයක වැඩි දුරටත් සඳහන් වෙයි.

මෙම පිරිස තෝරා ගැනීම සිදු කර ඇත්තේ ඔන්ලයින් ක්‍රමයට අයදුම්පත් කැඳවීමෙනි. අවුරුදු 18 ත් 65 ත් අතර කිසිදු රෝගාබාධයක් නොමැති අය පමණක් තෝරා ගැනීම කර ඇත.

පසුගිය වසරේ ද මුහුණු ආවරණ පැලඳ, සමාජ දුරස්ථභාවය රැක ගනිමින් හජ් වන්දනාව පැවැත්වුණු අතර ඊට ද සහභාගී කරවා ගැනුනේ සීමිත පිරිසකි. ඒ, හජ් වන්දනාව හරහා වයිරස ව්‍යාප්තියක් සිදුවේවි යැයි බියෙනි.

කෙසේ නමුත් 2020 වසරේ හජ් වන්දනාව හේතුවෙන් කිසිදු ආසාදිතයකු වාර්තා වූයේ නැත. එම සාර්ථකත්වය අනුව මෙවර හජ් වන්දනා කටයුතු සිදු කරන බව සෞඛ්‍ය අංශ පවසා ඇත.

මෙවර ද සෞදි සෞඛ්‍ය බලධාරීන් හජ් වන්දනාව සඳහා නව මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත. නිරන්තරයෙන් බැතිමතුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමක් ද සිදු කෙරේ.

''සෑම පැය 3 කට වරක්, බැතිමතුන් 6,000 කට හජ් වන්දනා කටයුතු සඳහා අවසර ලබා දෙනවා. එම 6,000 ක පිරිස පිටවී ගිය පසුවයි, තවත් 6,000 කට අවසර ලැබෙන්නේ. විෂබීජහරණ කටයුතු ඒ අතරේ සිදුවෙනවා. බැතිමතුන් සියලු දෙනා මුහුණු ආවරණ පැලඳීම අනිවාර්ය වන අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමත් වැදගත්'' යැයි හජ් වන්දනා කටයුතු පිළිබඳ සෞදි අමත්‍යාංශයේ ප්‍රකාශක හිෂාම් අල් සාද් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

හජ් යනු වාර්ෂිකව පැවැත්වෙන ලොව විශාලතම ආගමික බැතිමතුන්ගේ එකමුතුවය. කොරෝනා වසංගතයට පෙර හජ් වන්දනාවට පැමිණි පිරිස මිලියන 3 ඉක්මවීය. 2019 වසරේ හජ් වන්දනාවට සහභාගී වූ පිරිස මිලියන 2.5 ක් යැයි විදෙස් පුවත් සේවා පවසයි.

මේ වනවිට සෞදි අරාබියෙන් වාර්තා වන සමස්ත 'කොවිඩ් 19' ආසාදිතයන් ගණන 5,07,000 ක් වන අතර සමස්ත මරණ වාර්තා වන්නේ 8,000 ක් ලෙසය. මිලියන 34 ක් ජීවත් වන සෞදියේ මිලියන 20 කට කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී අවසන් යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS