රුසියාවත් යුක්රේනයත් අතරේ එකඟතාවක්



කළු මුහුද හරහා තිරිගු අපනයනය නොකඩවා සිදු කිරීමට රුසියාවත් යුක්රේනයත් අතරේ එකඟත්වයක් ඇති කර ගැණුනි. රුසියාව සහ යුක්රේනය අතරේ මෙසේ එකඟත්වයක් ඇති කර ගැණුනේ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ මැදිහත් වීමෙනි.

පසුගිය මාස කීපය පුරාවට රුසියන් ආක්‍රමණය හේතුවෙන් යුක්රේනයට ඔවුන්ගේ තිරිගු අපනයන කිරීමට නොහැකි වී තිබුණි. රුසියාව යුක්රේනයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ගයක් අනුගමනය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය.

යුක්රේනය ඔවුන්ගේ තිරිගු විදේශගත කළේ කළු මුහුද හරහාය. මේ වනවිට යුක්රේනයේ වරාය නගර ඇත්තේ රුසියාව සතුවය. එහෙයින්, තිරිගු අපනයනය මුළුමනින්ම බිද වැටුණි. එය ගෝලීය වශයෙන් ආහාර අර්බුදයක පෙරනිමිති පෙන්නුම් කරන්න විය.

තුර්කි ජනාධිපතිවරයා මැදිහත් වී රුසියන් සහ යුක්රේන නියෝජිතයන් මුහුණට මුහුණ හමුවීමට සලස්වා සාකච්ඡා මාර්ගයෙන් තිරිගු අපනයනයට එකඟතාවක් ඇති කර ගැනීමට අවස්ථාවක් ලබා දුන්නේ ඒ අනුවය.

තුර්කිය නේටෝ සාමාජික රාජ්‍යයකි. යුක්රේනය සහ රුසියාව තිරිගු අපනයනය සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගනිමින් අදාල ගිවිසුමට අත්සන් කරද්දී, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස් ද එම අවස්ථාවට සහභාගී වී සිටියේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS