රුසියාව යුරෝපයට ගෑස් බෙදන්න සූදානම්



දේශපාලන මත ගැටුම්වලින් බැහැර වී, තුර්කිය සමඟ එක් වී, තුර්කියේ සහාය ඇතිව, යුරෝපා රටවලට ගෑස් බෙදා හැරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර ඇත.

කසක්ස්තානයේ පැවැති ආසියාවේ අන්තර් ක්‍රියා සහ විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග පිළිබඳ සමුළුවට, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ද සහභාගී වූ අතර, පුටින් සහ එර්දොවාන් අතර හමුවක් සාකච්ඡා අතරතුරේ පැවැත්විණි.

රුසියාවෙන් තුර්කියට ගෑස් සැපැයුම සිදු කිරීමටත්, තුර්කිය යුරෝපා රටවපලට එම ගෑස් අලෙවි කිරීමත් සිදු කිරීමටත් සාකච්ඡා කෙරුණු බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. රුසියාව, මෙසේ තුර්කිය හරහා යුරෝපා රටවලට ගෑස් අපනයනය කිරීම සිදු කරනු ඇත්තේ ‘නෝඩ් ස්ටී්‍රම් 2’ නළ මාර්ගය ඔස්සේය.

යුරෝපා රටවලට ගෑස් අපනයනය කළ ප්‍රධාන රාජ්‍යය වූයේ රුසියාවය. කෙසේ නමුත්, රුසියන් යුක්රේන යුද්ධය හේතුවෙන් යුරෝපා රටවලට ගෑස් අපනයනය අඩපණ විය.

ඒ අනුව, යුරෝපා රටවල බලශක්ති අර්බුදයක් පවා නිර්මාණය විය. දේශපාලන මත ගැටුම් පසෙකලා, සාධාරණ මිල ගණන්වලට යුරෝපා රටවලට ගෑස් අපනයනය කිරීමට රුසියාව සූදානම් බව ජනාධිපති පුටින් තුර්කි ජනාධිපති එර්දොවාන් හමුවේ පැහැදිලි කර තිබේ.

තුර්කිය ‘නෝටෝ’ සාමාජික රාජ්‍යයකි. ‘නේටෝ’ යනු රුසියාවෙන් එල්ල වන තර්ජන හමුවේ ඇමෙරිකාව, කැනඩාව සහ යුරෝපා බටහිර රටවල් එක් වී පිහිටුවාගත් යුද සන්ධානයයි. රුසියාව, සමීප මිතුදම් පවත්වන එකම ‘නේටෝ’ සාමාජික රාජ්‍යය ලෙස සැලකෙන්නේ තුර්කියයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS