රුසියන් හමුදා පහර දෙන්නේ ඉරාන ඩ්‍රෝන යානාවලින්



රුසියානු හමුදා යුක්රේන නගරවලට ගුවන් ප්‍රහාර එල්ල කරන්නේ ඉරානයේ නිෂ්පාදිත නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගනිමින් බවත්, ඉරාන හමුදාවේ නිලධාරීන් තාක්ෂණ ශිල්පීන් කණ්ඩායමක් රුසියන් හමුදාවට සහාය දැක්වීමට යුක්රේනයේ ක්‍රිමියා අර්ධද්වීපයට පැමිණ සිටින බවත් ඇමෙරිකාව පවසයි.

යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය 2014 වසරේ සිට පවතින්නේ රුසියාවේ කොටසක් ලෙසය. රුසියන් හමුදා ක්‍රිමියා අර්ධද්වීපය අත්පත් කර ගත්තේ පහර දීමෙන් පසුවය.

රුසියාව, ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා මිලදී ගෙන ඒවායින් යුක්රේන නගරවල විදුලි බලාගාර, ජල සැපැයුම් පද්ධති ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරයි. රුසියන් හමුදාව උත්සාහ ගන්නේ යුක්රේන වැසියන්ගේ යටිතල පහසුනම් අඩපණ කර දැමීමට යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා කර තිබේ.

යුක්රේන ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත්තේ රුසියන් හමුදා ඉරානයේ නිෂ්පාදිත ‘කමිකාසේ’ වර්ගයේ ඩ්‍රෝන යානා ප්‍රහාර සඳහා භාවිතයට ගන්නා බවය. යුක්රේන ආරක්ෂක අංශ ඉරාන ඩ්‍රෝන යානා වෙඩි තබා බිම හෙලා ඇතැයි ද පැවැසෙයි.

කෙසේ නමුත් ඇමෙරිකාවෙන් සහ යුක්රේන රජයෙන් එල්ල වන චෝදනා ඉරානයත් රුසියාවත් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. තමන් ඉරානයෙන් මිසයිල හෝ ඩ්‍රෝන යානා හෝ මිලදී ගෙන නැතැයි රුසියාව පවසා ඇති අතර, ඉරානය පවසා ඇත්තේ, තමන් කිසිදු අවස්ථාවක රුසියාවට මිසයිල හෝ ඩ්‍රෝන යානා හෝ විකුණා නැති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS