රුසියන් සම්බාධක ඉරානයටත් ගැටලුවක්



යුක්රේන අර්බුදය මුල් කරගනිමින් බටහිර රටවල් රුසියාවට පනවා තිබෙන සම්බාධක ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට දැඩි බාධාවක් යැයි රුසියාව ප්‍රකාශ කරයි.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් මෑතකදී පැවැත්වූ එකඟතාවලදී සහ රුසියානු-යුක්රේන අර්බුදය මුල් කරගනිමින් රුසියාවට සම්බාධක පැනවීමේදී රුසියානු පාර්ශවයේ අභිලාෂ සැලකිල්ලට ගෙන නැතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් පැවැසීය.

ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අදාළ ව ඉදිරිපත් කෙරුණු මාර්ග සැලැස්මකට ඉරානය සෙනසුරාදා දිනයේ දී එකඟතාව පළ කළේ ය. එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික කටයුතු සම්බන්ධ ක්‍රියා කරන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති අධිකාරියේ සහාය ඇතිව අදාළ මාර්ග සැලැස්ම ක්‍රියාත්මක කෙරේ. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දැනට තිබෙන සියලු අර්බුද විසඳා ගැනීම එහි පළමු කටයුත්ත වන අතර ලබන ජූනි මාසය වන විට එම ගැටලු සියල්ල විසඳා ගැනීමට අපේක්ෂා කෙරේ.

ඉරානය ගෝලීය බලවතුන් සමඟ 2015 වසරේ දී න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබීය. ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමෙරිකාව එම ගිවිසුමෙන් ඉවත් කරගැනීමටත් සමඟ අදාළ ගිවිසුම් ගත වැඩසටහන අකර්මන්‍ය විය.

රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝව් මෙම අදහස් පළ කළේ තත්ත්වය එසේ තිබියදී ය. ඉරාන න්‍යෂ්ටික ගිවිසුම සම්බන්ධයෙන් මෑතකදී පැවැති සාකච්ඡාවලදී මෙන්ම රුසියාවට සම්බාධක පැනවීමේදී රුසියානු දෘෂ්ටි‌ කෝණයෙන් කරුණු දෙස බලා නැතැයි රුසියානු විදේශ අමාත්‍යවරයා පැවැසීය.

“මේ සියල්ල හොඳයි. කොහොම නමුත් බටහිර රටවල් රුසියාවට ආක්‍රමණශීලී අයුරින් සම්බාධක පනවලා. මට තේරෙන විදියට සම්බාධක පැනවීම අවසන් වෙලා නැහැ. කොහොම නමුත් මේ කරුණු කාරණාවලදී රුසියාවේ පැත්තෙන් බලලා නැහැ. නීතීඥයෝ ඒ ගැනත් බැලුවා නම් වඩාත් හොඳ” යැයි රුසියානු විදේශ අමාත්‍යවරයා කීය.

බටහිර රටවල් රුසියාවට පනවන සම්බාධකවලින් ඉරානය සමඟ රුසියාව කරන වෙළෙඳාම්, ආයෝජන, සහ සන්නද්ධ-තාක්ෂණික සහයෝගීතාවයට කිසිදු බාධාවක් නොවන බවට ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ලිඛිත සහතිකයක් අවශ්‍ය යැයි ද රුසියානු විදේශ අමාත්‍යවරයා මෙහිදි පැවැසීය.

“අපිට පිළිතුරක් අවශ්‍ය යි. ඉතාම පැහැදිලි උත්තරයක්. ඉරාන න්‍යෂ්ටික ගිවිසුමට අදාළව රුසියාව සහ ඉරානය අතර කෙරෙන වෙළෙඳ-ආර්ථික සහ ආයෝජන සම්බන්ධතාවලට සම්බාධකවලින් කිසිදු බාධාවක් නොවන බවට අපට සහතිකයක් අවශ්‍ය” යැයි හෙතෙම කීය.

මේ අදාළ ගිවිසුම යටතේ ඉරානයේ සිවිල් න්‍යෂ්ටික වැඩසටහන්වලට, න්‍යෂ්ටික අවිහරණ නීතිවලට අනුව ඉරානය සහාය වීමට රුසියාවට සහ චීනයට ඉඩ ලබා දිය යුතු යැයි ද මෙම ව්‍යාපෘතිවලට සම්බාධකවලින් බලපෑමක් එල්ල නොවිය යුතු යැයි ද රුසියානු විදේශ අමාත්‍යවරයා කීවේ ය.

(රොයිටර්)


RECOMMEND POSTS