මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ගේ කටාර් සංචාරය



මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා දූත පිරිසක් ඉකුත් අප්‍රේල් මාසයේදී කටාර් රාජ්‍යයේ සංචාරයක නිරත විය.

දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මැතිතුමා සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ ශ්‍රී ලාංකික දූත පිරිස සඳහා රැස්වීම් මාලාවක් සංවිධානය කරන ලදී.

රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලාංකික දූත පිරිස කටාර් රාජ්‍යයේ මුදල් අමාත්‍ය අලි ෂරීෆ් අල් ඉමාඩි මහතා සමඟ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, දෙරට අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා වූ ක්‍රම සහ විධි හා කටාර් සමාගම් සඳහා ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා විමසා බැලීමට එකඟ විය.

දූත පිරිස කටාර්හි පරිපාලන සංවර්ධන, කම්කරු හා සමාජ කටයුතු අමාත්‍ය යූසුෆ් මොහොමඩ් අල් ඔත්මන් ෆක්රූ මහතා ද හමුවූහ. මෙම රැස්වීමේ දී පාර්ශවයන් කම්කරු හා සමාජ කටයුතුවල ඒකාබද්ධ සහයෝගීතාවයේ අංශ සහ දෙරට අතර ආර්ථික සහයෝගීතාවයට සහාය දැක්විය හැකි ක්‍රම පිළිබඳව සමාලෝචනය කළහ.

ශ්‍රී ලාංකික දූත පිරිස කටාර් මහ බැංකුවේ අධිපති ෂෙයික් අබ්දුල්ලා බින් සෞඩ් අල් තානි මහතා සහ නියෝජ්‍ය අධිපති ෂෙයික් මොහොමඩ් බින් හමාඩ් අල් තානි මහතා, දෙරටේ මූල්‍ය අතරමැදියන් අතර ප්‍රති-පක්ෂ සබඳතා ඇති කර ගැනීම සහ වැඩි දියුණු කිරීම සඳහා වන ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා කළහ.

දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් දූත පිරිස සඳහා කටාර් රජයේ සම්භාවනීය අමුත්තන් සමඟ තවත් ඵලදායී රැස්වීම් කිහිපයක් සංවිධානය කරන ලදී. කටාර් ආයෝජන අධිකාරියේ (QIA) ප්‍රධාන විධායක නිලධාරී මන්සූර් බින් ඊබ්‍රාහිම් අල් මහමුද් මහතා සහ දූත පිරිස අතර පැවති රැස්වීමේ දී, ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා කේන්ද්‍ර කර ගත් සාකච්ඡාවක් පැවැත්විණ.

කටාර් එයාර්වේස් හි ප්‍රධාන විධායක නිලධාරි අක්බාර් අල් බේකර්මහතා , කොවිඩ්-19 වසංගතය තුළ දී පවා කටාර් එයාර්වේස් ගුවන් සමාගම කොළඹට දිනපතා ගුවන් ගමන් ක්‍රියාත්මක කළ බවත් දිගුකාලීන කැපවීම සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවත් යළ අවධාරණය කළේය.

කටාර් හි ලුලු සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ආචාර්ය මොහොමඩ් අල්තාෆ් මුස්ලියම් වීටිල් මහතා සමඟ ද මෙම නියෝජිත කණ්ඩායම ඵලදායී සාකච්ඡාවක් පැවැත්වීය. මෙම සාකච්ඡා අතරතුර දී, ඉදිරි දශක දෙකක කාලයක් පුරා ලුලු සමූහය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන වෙළඳ සබඳතා ඉහළ නැංවීමේ අවශ්‍යතාව ඉස්මතු කරන ලදී.

මීට අමතරව, ශ්‍රී ලාංකික දූත පිරිස දෝහා බැංකුව සහ කටාර් ජාතික බැංකුව (QNB) යන කටාර්හි ප්‍රමුඛ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් සමඟ සාකච්ඡා පැවැත්වූහ. මෙම රැස්වීම් වල දී කටාර් ජාතික බැංකුව සහ දෝහා බැංකුව ශ්‍රී ලංකාවේ පවතින අවස්ථා පිළිබඳව ගවේෂණය කිරීමට සහ ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ වර්තමාන ව්‍යාපාරික මෙහෙයුම් තවදුරටත් සංවර්ධනය කිරීම සඳහා එකඟ විය.

රාජ්‍ය අමාත්‍ය කබ්රාල් මහතා ගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලාංකික දූත පිරිස සමඟ පැවති රැස්වීම්වලට තානාපති එම්. මෆාස් මොහිදීන් මහතාද සහභාගී විය. මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ධම්මික නානායක්කාර, රාජ්‍ය ණය අධිකාරී ආචාර්ය එම්.ඉසෙඩ්.එම්. ආසිම් සහ ආර්ථික පර්යේෂණ සංවර්ධන අධ්‍යක්ෂ ආචාර්ය සී. රාජපක්ෂ ,රාජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් දර්ශනී අමරසිංහ සහ මාධ්‍ය ලේකම් ආර්.එම්.ඒ. රාජපක්ෂ යන මහත්ම මහත්මීහු  එක් වූහ.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS