මැදපෙරදිග රටවල කොරෝනා ඔඩුදුවයි



මැදපෙරදිග රටවල් රැසක 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසය ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකළහොත්, ඉදිරියේ දී බිහිසුණු තත්ත්වයක් නිර්මාණය වීම වැලැක්විය නොහැකි බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවමින් පවසා තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන ආකාරයට වයිරස ව්‍යාප්තිය වැඩි වීමට පටන්ගෙන ඇත්තේ ලිබියාව, ඉරානය, ඉරාකය, ටියුනීසියාව, ලෙබනනය සහ මොරොක්කෝ යන රටවලිනි.

මැදපෙරදිග කලාපීය රටවල මුස්ලිම් බැතිමතුන් එලැඹෙන සතියේ 'ඊද් අල් ආදා' උත්සව සඳහා සහභාගී වනු ඇති බවත්, එය වයිරස ව්‍යාප්තිය තවත් වේගවත් කිරීමට හේතුවක් වනු ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් වෙයි.

මැදපෙරදිග කලාපයේ 'කොවිඩ් 19' හෙවත් නව කොරෝනා වයිරසයෙන් දරුණු ලෙස බැට කන්නේ ඉරානයයි. ඉරානය මේ වනවිට පස්වැනි කොරෝනා රැල්ලට මුහුණ දෙමින් සිටින බව පැවැසෙයි. ඉරානය කොරෝනා වසංගතයෙන් බැට කන්නේ ඇමෙරිකන් සම්බාධක පනවා තිබියදීය.

ලිබියාව, ඉරාකය සහ ටියුනීසියාව සන්නද්ධ ගැටුම් නිසා අස්ථාවර වූ රටවල්ය. ලෙබනනය, දේශපාලන අර්බුද හේතුවෙන් අස්ථාවර වී ඇත. මෙම රටවල සෞඛ්‍ය ක්ෂේත්‍ර දරුණු ලෙස කඩා වැටීමකට ලක් වීම, කොරෝනා ව්‍යාප්තියට හේතුවක් වූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මීට අමතරව, නැගෙනහිර මැදපෙරදිග කලාපයේ රටවලින් ද දිනපතා අඩුවක් නොමැතිව, කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි. නැගෙනහිර මැදපෙරදිග රටවල් ලෙස සැලකෙන්නේ පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, සෝමාලියාව, ජිබුර්ටි ය.

පොදුවේ ගත් කළ මැදපෙරදිග කලාපයේ සහ නැගෙනහිර මැදපෙරදිග කලාපයේ රටවලින් වාර්තා වී තිබෙන කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 11.4 ක් බවත් මරණ වාර්තා වන්නේ 2,23,000 ක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වෙයි.

ජිනීවාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS