භූමි කම්පාව: මියගිය ගණන 28,000 පනී



තුර්කිය සහ සිරියාව කැලඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන 28,000 පසු කළේය. භූමි කම්පාවලින් වැඩිපුරම හානි සිදුවී ඇත්තේ තුර්කියටය.

භූමි කම්පා හටගත්තේ මීට සතියකට පෙරය. දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් දිගටම ක්‍රියාත්මක වෙයි. ඊයේ (11) දින පැය 100 කට වඩා වැඩි ගණනක් සුන්බුන් අතරේ සිරවීී සිටි යුවතියක මුදා ගැනීමට දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් සමත් විය. කෙසේ නමුත් රෝහල් ගත කිරීමෙන් පසු ඇය මියගිය බව ද පැවැසිණි.

භූමි කම්පාවෙන් හානියට පත්වුණු ඇන්ටක්යා නගරයේ නිවාස සහ වෙළෙඳසැල් සොරුන්ගෙන් ආරක්ෂා කිරීමට පොලිසියට සිදුවී ඇතැයි ද වාර්තා වේ. භූමි කම්පාවෙන් හානි සිදුවුණු පළාත්වල හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් කටයුතු කර තිබේ.

විපතට පත්වූවන්ට අවශ්‍ය සියලු පහසුකම් කඩිනමින් ලබා දීමට ද තුර්කි ජනාපධිතිවරයා ප්‍රතිඥා දී ඇත.  භූමි කම්පාවෙන් හානි වූ තුර්කි නගරවල සංචාරය කරමින්, විපතට පත්වූවන් ගැන සොයා බැලූ ජනාධිපති එර්දොවාන් කටයුතු කළ අවස්ථාවේ ඔහුට ජනතාවගෙන් දෝෂාරෝපණ එල්ල විය.

ජනාධිපතිවරයාට දෝෂාරෝපණ එල්ල වූයේ භූමි කම්පාවෙන් විපතට පත්වූවන් සහ උන්හිටිතැන් අහිමිවූවන්ට ලබා දෙන ආධාර ක්‍රමවත් ආකාරයට බෙදා නොදීම සහ එම කටයුතු ඉතා මන්දගාමීව සිදුවීම සම්බන්ධයෙනි.

මේ අතර, එක්සත් ජාතීන්ගේ ආධාර ලබා දීමේ අංශයේ ප්‍රධානී මාටින් ග්‍රිෆිත් මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත්තේ තුර්කිය සහ සිරියාව කැලැඹූ භූමි කම්පාවලින් සිදුවුණු හානිය වසර 100 කට පසු සිදුවුණු මහා ව්‍යසනයක් බවය.

(රොයිටර්)

 


RECOMMEND POSTS