බේරූට් සුන්බුන් අතරේ දරුවකු පණ පිටින්



 

ලෙබනනයේ බේරූට් නුවර බිහිසුණු පිපිරුම සිදුවී මාසයක් ගත වෙද්දී, පිපිරුමට හසුවීමෙන් බිමට සමතලා වූ ගොඩනැගිල්ලක සුන්බුන් තට්ටු යට දරුවකු පණ පිටින් සිටින බව දිවි ගලවා ගැනීමේ කණ්ඩායමක් පවසයි.

සුන්බුන් තට්ටු යට පණ පිටින් දරුවකු සිරවී සිටින බව අනාවරණය කර ගත්තේ චිලී රටෙන් පැමිණි දිවි ගලවා ගැනීමේ කණ්ඩායමය. ඒ, ස්කෑන් යන්ත්‍ර යොදා ගනිමින් සුන්බුන් සෝදිසි කරද්දීය. ‘අප සුන්බුන් සෝදියි කරමින් සිටිනේ මළ සිරුරු සොයමින්.

එහෙත්, මළ සිරුරක් අසල පණ පිටින් සිටින දරුවකු ස්කෑන් යන්ත්‍ර හරහා අපට දකින්න ලැබුණා. එය අප කාගේත් මවිතයට හේතුවක් වුණා’ යැයි ‘ටොපොස් චිලී’ නමැති එම දිවි ගලවා ගැනීමේ කණ්ඩායම පවසා තිබේ.

ලොව මහා ව්‍යසන සිදුවුණු අවස්ථාවලදී දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට එක් වන දිවි ගලවා ගැනීමේ ශූරයන් ලෙස සැලකෙන්නේ ‘ටොපොස් චිලී’ කණ්ඩායමය.

2010 හයිටිය කැලඹූ මහා භූමි කම්පාවෙන් පසු දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට මොවුන් දායක විය.

2011 දී ජපානයේ ෆුකුෂිමා බලාගාරයේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය පුපුරා ගිය අවස්ථාවේදී ද දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා පැමිණියේ මොවුන්ය.

දරුවා සිටින්නේ එම ගොඩනැගිල්ලේ බිම් මහලේ සිරවීය. දරුවා බේරා ගැනීමට ටොන් ගණනක් සුන්බුන් ඉවත් කිරීමට සිදුවන අතර, එම කටයුතු කඩිනමින් ආරම්භ කර තිබේ. ජාත්‍යන්තර දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් කීපයක් සහ නිල සුනඛයන් ද ලෙබනනයට පැමිණ බේරූට් නුවර විනාශ වූ නිවාස සහ ගොඩනැගිලි සෝදිසි කරමින් සිටී. මොවුන් සියලු දෙනා, ලෙබනන් ආරක්ෂක අංශ සහ වෛද්‍ය ආධාරකරුවන් ද එක් වී, දරුවා මුදා ගැනීමට ප්‍රමුඛත්වය දී ඇති බව වාර්තා වේ.

ලෙබනනයේ බේරූට් නුවර වරායේ එම බිහිසුණු පිපිරුම සිදුවූයේ පසුගිය අගෝස්තු 4 වැනිදාය. ඒ, වරායේ අනාරක්ෂිත අයුරින් වසර ගණනක් තිස්සේ ගබඩා කර තැබුණු ඇමෝනියම් නයිටේ්‍රට් ටොන් 1,200 ක් පුපුරා යෑමෙනි. පිපිරුමට හසුවීසෙන් 191 ජීවිතක්ෂයට පත් වූහ. බොහෝ දෙනෙක් අතුරුදන් වූහ. තුවාල ලැබූ ගණන 6,000 කි. කිලෝ මීටර් 15 ක් දුරට එම බිහිසුණු පිපිරුමේ කම්පන තරංග ඇදී ගියේය. නිවාස සහ ගොඩනැගිලි රැසක් මුළුමනින් විනාශ විය. ඒ අතර රෝහල් 3 ක් ද වෙයි.

බේරූට්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS