නැවට පහර දුන්නැයි ඉරානයට චෝදනා



ඊශ්‍රායල තෙල් සමාගමකට අයත් විදෙස් තෙල් නැවට, ඕමානයට ඔබ්බෙව් අරාබි මුහුදේ දී එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන්, ඇමෙරිකාවෙන් මෙන්ම මහා බ්‍රිතාන්‍යයෙන් ද ඉරානයට චෝදනා එල්ල වෙයි.

නැවට පහර දුන්නේ ඉරානය යැයි පළමුවෙන් චෝදනා කළේ ඊශ්‍රායල විදේශ ඇමැති යාර් ලුපිද්ය. 'එම්.වී. මර්සර්' නමැති මෙම තෙල් නැව ඊශ්‍රායල සමාගමකට අයත් වුවත්, එහි පරිපාලනය සිදුවන්නේ ලන්ඩන් නුවර සොඩියැක් මැරිටයිම් නැව් සමාගම හරහාය.

නැවට එල්ල වුණු ප්‍රහාරයෙන් නැවේ සේවය කරමින් සිටි බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සහ රොමේනියානු ජතිකයකු මියගිය බව විදෙස් ප්‍රවත් සේවා වාර්තා කර තිබේ. නැවට ප්‍රහාරය එල්ල වූයේ පසුගිය බ්‍රහස්පතින්දා (29) ය.

ඉරානයේ ත්‍රස්තවාදය ඊශ්‍රායලයට පමණක් නොව, මුළු ලෝකයටම තර්ජනයක් යැයි ඊශ්‍රායල විදේශ ඇමැතිවරයා, ඉරානයට දොස් නගමින් පවසා ඇති අතර, ඇමෙරිකාවත් මහා බ්‍රිතාන්‍යයත් එය අනුමත කර තිබේ.

මේ අතර, ඉරානය තරයේ පවසා ඇත්තේ 'එම්.වී. මර්සර්' නැවට එල්ලවුණු ප්‍රහාරයට තමන් සම්බන්ධ නැති බවත්, තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවත්ය.

(බීබීසී)


RECOMMEND POSTS